Paper Article

එදත් අදත් හැම ආණ්ඩුවක්ම කලේ කළා කරුවා නැගිටින එක නතර කරපු එක-ජනප්‍රිය නළු රොෂාන් රවීන්ද්‍ර

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි තිරයත් එක ලෙස ජයගත් දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියලා කියන්නේ. ඔහු රංගනයෙන් දායක වූ විවිධ චරිත ඔස්සේ රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට සමත් වූවා. මෑත කාලීනව ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙසින් ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමඟ ඔහු පිළිබඳව නව මානයකින් සිතීමට ප්‍රේක්ෂකයින්ට හැකි වී තිබෙනවා. මෑත කාලයේදී අතිශය ජනප්‍රියත්වයට පත්වූ තණමල්විල කොල්ලෙක් ටෙලිකතාව අධ්‍යක්ෂණය කල මේ අති දක්ෂ රංගන ශිල්පියා ගැන කතා කරන විට මතකයේ රැදීතිබෙන ඔහු රංගනයෙන් දායකවුනු ටෙලිනාට්‍ය කිහිපයක් ගැනනම් කතා නොකරම බැහැ. උතුවන්කන්දේ සූර සරදියෙල් සහ සහෝදරයා යන නිර්මාණ තුළින් ඉහළ ප්‍රේක්ෂක මනාපයක් අත් කරගන්න ඔහු ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

පවතින කොවිඩ් තත්වෙත් එක්ක අපි කරන්න හිටපු වැඩ කටයුතු ගොඩක් පස්සට ගියා. තවමත් නිශ්චිත විධියට වැඩකට යොමුවෙලා නැහැ. වැඩ කිහිපයකට ආරාධනා ලැබුණත් ඒවාගෙන් මම සතුටු වෙන විධියේ වැඩ නොලැබුණු නිසා මම ඒවා අතහැරලා ගෙදරට වෙලා බලන් ඉන්නවා. කොච්චර නිර්මාණවලට ආරාධනා ලැබුණත් මම ඒවා භාර ගන්නේ මම ඒ නිර්මාණය තුළ තෘප්තිමත් නම් විතරයි.

ඇත්තටම විදේශ රටක කෙනෙක් තමන්ගේ වෘත්තිය බවට වේදිකාව පත් කර ගත්තොත් ඒ කෙනාට හොඳට කාලා, ඇඳලා තමන්ගේ ජීවිකාව ඉදිරියට ගෙනියන්න පුළුවන්. නමුත් ලංකාවේ කෙනෙක් වේදිකාව තමන්ගේ වෘත්තිය බවට පත් කරගනොත් ඒ මනුස්සයාට වෙන දේ හිතාගන්නවත් බෑ. දැන් ලංකාවේ වේදිකා නාට්‍ය පෙන්නන්න තියෙන තැන්වලට මොකද වුණේ කියලා හිතලා බලන්නකෝ. සරලවම කිව්වොත් ජෝන් ද සිල්වා රඟහලට මොකද සිද්ධ වුණේ? මම හිතන්නේ රාජ්‍ය විසින් කලාව කියන එක සමාජය පෝෂණය කරන්න තියෙන දෙයක් විධියට තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ සහ පිළිගන්නෙ නැහැ. පැවතුණු සහ පවතින ආණ්ඩු විසින් කලාකරුවාගේ නැගිටීම සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා තියෙන්නේ. හරියට නිකන් මනුස්සයෙක්ට ගහලා කොන්ද කඩලා දානවා වගේ.

රාජ්‍ය විතරක් නෙමෙයි ඇත්තටම මාධ්‍ය නාළිකා මගිනුත් කලාකරුවන්ට සමාජය තුළ හිමිවිය යුතු තැන මේ වන විට අහිමි කරමින් තමයි තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය මාධ්‍ය නාළිකාවල විකාශය කරන ටෙලි නාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගන්නේ නැතිව රියලිටි තරගවලින් බිහිවන ගායක ගායිකාවන් යොදා ගැනීම. ඒ ඔස්සේ නළු නිළියන්ට ක්ෂේත්‍රයේ තියෙන ඉඩකඩ බොහෝ සේ නාළිකා විසින් අහිමි කරලා තියෙනවා. ඒකෙන් බහුතරයක් දක්ෂ රංගන ශිල්පීන්ගේ බඩගෝස්තරයට ලොකු පහරක් වැදිලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විධියට නළු නිළියෝ බොහොමයක් ක්ෂේත්‍රය තුළ හුදෙකලා වෙලත් තියෙනවා. ඇත්තටම කිව්වොත් දැන් අපිටත් වෙලා තියෙන්නේ ඒ දේ තමයි. රටේ කලාව තුළ පවතින කාලකණ්ණි භාවයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ නාළිකා. පෞද්ගලික නාළිකා විතරක් නෙමෙයි රාජ්‍ය නාළිකාත් මේවට වගකියන්න ඕන. මොකද ඔවුනුත් පෞද්ගලික නාළිකාවලට මේවා කරන්න දීලා මුනිවත රකිනවා.

ඇත්තටම නළුකම කළත්, අධ්‍යක්ෂ භූමිකාව කළත් ඒ දෙකටම විෂය පිළිබඳව හැදෑරීමක් තියෙන්න ඕන. සමහරු නළුවො විදිහට සාර්ථක වුණාට අධ්‍යක්ෂ භූමිකාව ගැන හදාරලා නැත්නම් එතැනදී අසාර්ථක වෙන්න පුළුවන්. නළුකම ගැන විෂයක් විධියට හදාරලා තියෙනවා වගේම අධ්‍යක්ෂ භූමිකාව ගැනත් හදාරලා තියෙනවා නම් තමයි ඔය දෙකේදීම සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන්. අනෙක් දේ නළුවෝ විධියට අධ්‍යක්ෂ භූමිකාවට හැමෝම අසාර්ථකත් නෑ. මම හිතන්නේ අපේ ක්ෂේස්ත්‍රය තුළ නළුකමත් හොඳටම කරලා අධ්‍යක්ෂ භූමිකාවත් හොඳටම කරන අය ඉන්නවා. මෑතකාලීනව ගත්තොත් එහෙම ජැක්සන් ඇන්තනි මහත්මයා නළුකම වගේම අධ්‍යක්ෂ භූමිකාව කියන දෙකේදීම එක වගේ සාර්ථක වුණා.

දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඔවුන්ට කලාව තුළ ඕනම දෙයක් නිර්මාණය කරන්න, වගේම ඕනම දෙයක් විවේචනය කරන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද ඒ රටේ අය දන්නවා මේක නිර්මාණාත්මක හැකියාව එළියට දාන කලාව විතරයි කියලා. නැතිව දේශපාලන මතවාද එළියට ගේන පාර්ලිමේන්තුව නෙමෙයි කියලා. අපේ මෝඩ හැත්ත ඒක තමන්ගේ පෞද්ගලික එකවුන්ට් එකට දාගන්නවා. අන්තිමට කර්මාන්තය වෙන්න දෙන්නෙත් නැහැ හරියාකාරව. නිර්මාණයක් කියන දේ කොහොමත් දේශපාලනිකයි. ඒක කොහොමත් එහෙම වෙන්නත් ඕන. ඒ අධ්‍යක්ෂවරයා හෝ තිර පිටපත් රචකයා ඒ මොහොතේ එළියට දාන නමන්ගේ නිදහස් අදහස නමයි ඒකෙන් එළියට එන්නේ. මම කියන්නේ ඒක එළියට දාන්න ඉඩ දෙන්න ඕන. ඒකට සීමා වාරණ පනවලා හරියන්නේ නැහැ. ඒක මිනිස්සුන්ට බලන්න දෙන්න ඕන. මිනිසුයි තීරණය කරන්න ඕන ඒක හොඳයිද නැද්ද කියලා. ඇත්තද බොරුද කියලා. අපේ මෝඩ හැන බලන්නේ කොහේ හරි පක්ෂෙකට මේක ඇදලා වැඩියිද, මේක පෙනී සිටින්නේ අර පක්ෂය වෙනුවෙන්ද කියන එක. ඒ මිම්ම හරිම මෝඩයි.

මේ රටේ කොහොමත් යථාර්ථය කියන එක පෙන්වන්න බැහැ. නිර්මාණයක් ඔස්සේ පොලිසිය විවේචනය කරන්න බැහැ. නිර්මාණයක් ඔස්සේ හාමුදුරුනමක් විවේචනය කරන්න බැහැ. විවේචනය කරන්න නෙමෙයි අඩුම තරමේ ඒ තැන්වල තියෙන යථාර්ථයවත් පෙන්වන්න බැහැ සිගරැට් හා මත්පැන් සහිත දර්ශන කපන එකටනම් මම කොහොමත් එකග නැහැ, මම කියන්නේ මොකක් හෝ ආයතනයකින් තමන්ගෙ ප්‍රඩක්ට් එක වෙන දුම්වැටිය හෝ මත්පැන් කරගන්න නිර්මාණයක් කරලා තියෙනවා නම් ඒක කොහොමත් නිර්මාණය භාරගන්න නාළිකාවෙන්ම ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරන්න ඕන. හැබැයි එහෙම නැතිව මේ හොඳ නිර්මාණයක් ඇතුළේ ජීවිතයේ යථාර්ථය පෙන්වනකොට දුම්වැටි හා මත්ද්‍රව්‍ය වෙන අවස්ථාවක් තිබුණොත් ඒකට කොටු කොටු දාන එක වැරදියි. මොකද ජීවිතයේ යථාර්ථය මිනිස්සුන්ට පෙනවන්න කියන තැනදිම අරක්කු හා සිගරැට් එතැනට අදාළ වෙනවා. එහෙම කොටු දැම්මම ඕන දේ පෙන්වන්න බැරි වෙනවා වගේම නිර්මාණකරුවෝ අසරණ වෙනවා. මේවා හරි සියුම්ව තේරුම්ගන්න ඕන දේවල්. වාරණය කළ යුතු තැන් තියෙනවා. හැබැයි කාගෙ හරි කෙහෙල්මලක් අහලා මේක හොඳ නෑ කියලා මෝඩයො වගේ වාරණය කරලා හරියන්නෙ නෑ,

මට කවදාවත් ජනප්‍රියත්වය රැකගන්න ආසාවක්, වුවමනාවක් තිබ්බෙ නෑ. කලාකරුවෙක් විධියට මට හැමදාම ඕන වුණේ ඊළඟ නිර්මාණය හොඳට කරන්නේ කොහොමද කියන එකට ඉලක්කගත වෙන්න විතරයි. ජනප්‍රියත්වය සෙවීම හා ඒක නඩත්තු කිරීම මට අනුව විහිළුවක්. මට ඕන මට සහ මුළු මහත් කලාවට වෙලා තියෙන ඛේදවාචකයට ප්‍රායෝගික විසදුමක් හොයාගෙන එක අඩියක් හරි මේක ඉස්සරහට ගන්න විතරයි. එහෙම නැතිව අනවශ්‍ය මෝඩ දේවලට සටන් කරන්න මට වුවමනාවක් නැහැ සරලවම කිව්වොත් මට ක්ෂේත්‍රය තුළ ඉන්න කාත් එක්කවත් තරගයක් නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.