Paper Article

එක දෙයක් හරි, හරියට කළොත් ජනප්‍රිය වෙන්න ඒ එක දෙයත් ඇති-ප්‍රවීණ නිලි චම්පා ශ්‍රියානි

අපේ රටේ කවුරුත් ආදරය කරන කලාතුරකින් හිමිවන සුවිශේෂි චරිත රැසකට පණ පොවන වාසනා ගුණයකට හිමිකම් කියු ඇය නැවත පුංචි තිරයට ඇවිත්. ඒ සකර්ම ටෙලි නාට්‍යය ඔස්සේ. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය නිලි චම්පා ශ්‍රියානි. චම්පා වෘත්තීය රංගන ශිල්පිනියක් වුවත් ඇය නිර්මාණවලට සම්බන්ධ වන්නේ ඉතා අඩුවෙනි. ඉතින් ඇය රංගනයෙන් දායකවන ටෙලි සිත්තම නිර්මාණය වන්නේ ශාන්ති දිසානායකගේ පරඬැල් නවකතාව පාදක කර ගනිමින්. සති අන්තයේ ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ දිග හැරෙන සකර්ම හරහා යළිත් අප අතරට එන චම්පා ශ්‍රියානි ඇයගේ අලුත්ම තොරතුරු ගැන අපිට කිවුවේ මෙන්න මෙහෙමයි. මම රඟපෑ චරිත සංඛ්‍යාව අවු වුණත්, බැද්දේගෙදර, වනවදුලේ වසන්තය, කටු ඉඹුල, ගංගා සහ නිශ්ශංක වැනි ටෙලි නාට්‍යවල ඇය රඟපෑ චරිත නිරූපණයන් අදටත් බොහෝ අයට මතක ය. වසංගත සමයේ එම නාට්‍ය නැවත විකාශය වීම නිසා ප්‍රේක්ෂක මතකයන් යළි අවදි වෙලා.

මම මේ ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ වැඩ කළේ පිළිවෙළක් ඇතිවයි. අනික දැන් අපි තරුණ වයස පහුකරලා ඉන්න නිසා චරිතාංග රංගනයක් කරනවා හැර පෙනී සිටීමේ චරිත කරලා වැඩක් නෑ. සකර්ම මම බාර ගත්තේ මේ හැම දෙයක් ම ඒ නාට්‍යයේ තිබුණ නිසයි. කාලෙකට පස්සේ වැඩක් කළත් ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් තියෙනවා. ඇත්තට ම පහුගිය කාලේ ගෙවල්වල ගොඩාක් අය ටෙලි නාට්‍ය නැරඹීමෙන් ඉවත් ව සිටියා. ඒ නාට්‍යවලින් වැඩි හරියක් දරුවන්ට දෙමව්පියන්ට එකට ඉඳලා බලන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. පරණ නාට්‍ය නැවත විකාශය වෙන්න පටන් ගත්තාට පස්සේ මිනිස්සු ඒවා බලනවා. ඒකෙන් පැහැදිලි වෙනවා හොඳ නිර්මාණවලට ඉඩක් තියෙනවා කියලා.

මගේ අම්මා අවුරුදු 85ක් වෙනකන් මම මගේ ළඟ තියාගෙන බලා ගත්තා. මට දූලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාගේ වයස් පරතරය අවුරුදු 10යි. දරුවෝ දෙන්නා ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කඩඉම් පහු කරනකම් මම ඒ දෙන්න වෙනුවෙන් නැවති නැවතී තමයි නිර්මාණ කටයුතුවලට යොමු වුණේ. ඒ අතරේ හොඳ වැඩත් ලැබුණා. රූගත කිරීම්වලට ගිහින් ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ අතපසු වෙයි කියලා ලැබුණු ගොඩාක් දේවල් ප්‍රතික්ෂේප කළා. දූලා දෙන්නාගේ පාසල් අධ්‍යාපනය ඉවර වෙනකම් මම ළමයි ළඟ හිටියා. වැඩක් බාරගත්තොත් කොළඹින් පිට යන්න වෙනවා. එහෙම වුණොත් දරුවන්ට ලොකු වරදක් වෙනවා. අපි හැමදෙයක්ම කරන්නේ දරුවො වෙනුවෙන්නේ. මොන දේවල් කළත් අන්තිමට දරුවන්ට ඒකෙන් ප්‍රතිඵලයක් හොඳක් නැත්නම්, දරුවන්ට සිද්ධවෙන්නේ කරදරයක් නම් අපි මවුවරු හැටියට අවසානයේ පසුතැවීමට පත් වෙනවා. ඒ නිසා මං අදටත් හිතන්නේ මං අනුගමනය කළ පිළිවෙත් නිවැරදියි කියලයි. ලොකු දුව උපාධියත් අවසන් කළා. දැන් එයා විවාහ වෙලා රැකියාවක් කරනවා. එයාට චූටි පුතෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මං දැන් ආච්චි අම්මා කෙනෙක්.

ප්‍රවීණයින්ගේ ඇසුර රංගන පාසලකට ගියා හා සමානයි. ඒවගේ ම ඒ කාලේ අද වගේ ෆෝන් තිබ්බෙ නෑ. ඒ නිසා ම අපි ගොඩාක් පොත් කියෙව්වා. ඒ පොත්වල තිබුණු චරිත අපේ රංගනය දියුණු කර ගන්න ලොකු උදව්වක් වුණා. උතුවන්කන්දේ සරදියෙල් නිර්මාණයේ රංගනය වෙනුවෙන් හොඳ ම නිළිය වශයෙන් නිර්දේශ වුණා. වෘත්තීය රංගන ශිල්පියෙක් හැටියට තෝරලා වැඩ කරන්න බැරි වුණත්, මගේ සැමියා රැකියාවක් කරන නිසා මම අරපිරිමැස්මෙන් වැඩ කළා. අපට ඉන්න ගෙයක්, යන්න එන්න වාහනයක් තියෙනවා. මම ලස්සනට පිරිසිදුව අඳිනවා. ප්‍රසන්න ව ඉන්නවා. අවශ්‍ය දේටයි, අනවශ්‍යදේටයි මුදල් නාස්ති නොකර සැමියායි, දරුවෝ දෙන්නයි එක්ක සරල ව සතුටින් ජීවත් වෙනවා. සීමාව ඉක්මවලා උපයන්න ගියොත් තමයි ප්‍රශ්නත් වැඩි වෙන්නේ. අද පවුලක් හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. ජනප්‍රියත්වය වුණත් ඕනෑවට වඩා ඕනෙ ම නෑ. එක දෙයක් හරි, හරියට කළොත් ජනප්‍රිය වෙන්න ඒ එක දෙයත් ඇති. කවදා හරි දවසක මේ ඔක්කොම දාලා අපට යන්න වෙනවා. එදාට හිත නිදහසින් යන්න තියෙන්න ඕනේ. ඒ අතින් මම සාර්ථකයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment