Paper Article

එක එක්කෙනාට ඊර්ෂ්‍යා කළේ නැහැ, ඒ නිසයි අපි සාර්ථකත්වයට ළංවුණේ-ජනප්‍රිය ගායක සතීෂාන් රත්නායක

සතීෂාන් රත්නායක කියලා කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය නිහතමානී ගායන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම මෑත කාලයේ ලොවක් වසඟ කළ මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් හිමිකරුත් ඔහුයි. ඉතින් මේ ඉතාම කෙටි කාලයකින් ඔහුගේ ගීතය මෙච්චර ජනප්‍රිය වීම ගැන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මේ දවස් වල මගේ ජීවිතේ ගොඩක් සතුටින් ගෙවෙනවා. මොකද මට මගේ තිබුණු හීන, බලාපොරොත්තු ගොඩක් ඉතා ඉක්මණින් හිතාගන්නවත් බැරි විදියට සාර්ථක කරගන්න හැකිවුණා. සංගීත ජීවිතේ සහ වෘත්තීය ජීවිතේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ වෘත්තීය ජීවිතය පැත්තෙන් ගත්තම මම සේවය කළේ ලංකා විදුලිබල මණ්ඩලයෙ. ඉතින් ඒ අනුරාධපුරයේ. නමුත් මගේ ගම කෑගල්ල, ඒ නිසා මගේ සංගීත කටයුතුවලට සම්බන්ධ වෙන්න කොළඹට ඒම දුෂ්කර වෙහෙසකර ගමනක් වුණා. නමුත් මට පසුගිය කාල සීමාව ඇතුළත ඉතා ඉක්මණින් රැකියාවේ නව ස්ථාන මාරුවක් ලබාගන්න හැකිවුණා. මේ වෙද්දි මම ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ තමයි සේවය කරන්නේ.

ඒ නිසා දැන් මගේ සංගීත වැඩකටයුතු ඉතා පහසුවෙන් කරගෙන යන්න හැකි වෙලා තියෙනවා. රැකියාව පැත්තෙන් ඒ ලැබුණු සහයෝගය මගේ ගමනට ලොකු ශක්තියක් ඒ සහයෝගය ලබාදුන් හැමදෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඉතින් මේ හැමදේම එක්ක මම රැකියාවයි. සංගීතයයි දෙකම හොඳින් සතුටින් කරගෙන යනවා.

මගේ අලුත්ම ගීත නිර්මාණය ඔමරි. ඒක මැණිකේ මගේ හිතේ part 02 නමින් ඒ ගීතය එළිදක්වන්න නියමිතව තියෙන්නේ. නිරමාණය ටිකක් ප්‍රමාද වුණේ එහි දෙමළ පිටපතකුත් එන්න තියෙනවා, ඉන්දියාවේ කෙනෙක් එක්ක තමයි මේ වැඩකටයුත්ත කරගෙන යන්නේ. ඒත් එක්ක තව නිරමාණ දෙක තුනක් බලාගන්න පුළුවන් වෙයි.

ඉතින් ඒ වගේම දෙස්, විදෙස් ප්‍රසංග කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා. විදෙස් ප්‍රසංග දෙක තුනකට වගේ ඉදිරි සති කිහිපය තුළ සම්බන්ධ වෙන්න නියමිතව තියෙනවා, ඊට අමරතව ලංකාවේ මේ වෙද්දි ප්‍රසංග කිහිපයකට සම්බන්ධ වුණා. ඉදිරියේදීත් සම්බන්ධ වෙන්න ආරාධනා කිහිපයක් තියෙනවා.

ඇත්තටම යොහානි මේ ගීතයෙ Cover එක කරන අපිත් එක්ක සම්බන්ධ වීම තුළින් අපිටත් ලොකු අවස්ථාවන් කිහිපයක් ලැබුණා. ඉතින් මම ඇතිව හෝ නැතිව ඇය දෙස් විදෙස් ප්‍රසංගවලට සම්බන්ධ වෙලා ඒ ආදරය ප්‍රතිචාර ලබද්දි මට ඇත්තටම සතුටුයි. මොකද අපි ඉදිරි ගමනක් යන්නනම් කුහකවෙලා හරියන්නේ නැහැ. ඇය තනියම ගමනක් යන්න හොඳ නැහැ මුදල් ලැබෙන්න හොඳ නැහැ කියලා ඒ ගැන මම හිතුවේ නැහැ. මුදල් අවශ්‍යයි තමයි. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම නොවෙයි මේ නිර්මාණය කළේ. ඇත්තම කිව්වොත් මේ නිර්මාණය කරන්න මම ණය වාරිකයක් පවා අරගෙන තියෙන්නේ. ඒ දේවලුත් මම තවමත් ගෙවාගෙන යනවා. ඒ හැමදේම කළේ සංගීතයට තියෙන ආසාව කැමැත්ත නිසා.

මේ නිරමාණයට සම්බන්ධ වුණු අපි හැමෝම මුදලට වඩා නිර්මාණය ගැන හිතුවේ. ඒ එකම වෙලාවක හිටපු නිසා තමයි ගීතය මේ තරම් දුර ගියේ. ලංකාවේ ඉතා හොඳ නිර්මාණ තියෙනවා. ඒත් ඒවා ඉදිරියට යද්දි නොයෙක් ගැටලු ඇතිවෙනවා. සමහරු තවත් කෙනෙක්ට ගීතයක් ගායනා කරන්න ඉඩ දෙන්නේ නැහැ. අනුන්ගේ ගීතයක් වේදිකාවක ගායනා කළොත් ඒවාට නඩු දානවා. අද එවැනි තත්වයන් ලංකාවේ බොහොමයි. ඇත්තටම අපිට ඒවගේ ප්‍රශ්න තිබුණේ නැහැ, හැමෝම එකට එකතුවෙලා වැඩ කළා. එක එක්කෙනාට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඒ නිසයි මේ සාර්ථකත්වයට ළංවුණේ.

මමත් මෙහි සංගීත අධ්‍යක්ෂවරයා චමත් සංගීත් දෙන්න කතා කරලා යොහානීව මේ වැඩ කටයුත්තට සම්බන්ධ කරගත්තේ. ඇය මේ වෙනුවෙන් මුදල් අය කිරීමක් කළෙත් නැහැ. ඉතින් මම හිතනවා ඇයටත් දැන් මේ ගීතයේ අයිතියක් තියෙනවා කියලා. ඉතින් ඇය මේ ගීතය කොහේ කිව්වත් ඒවට ප්‍රතිචාර ලැබුණත් මට ප්‍රශ්නයක් නැහැ කියලයි මේ දක්ෂ ගායන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.