Paper Article

ඉස්සර මම හදන කෑම කටේ තියන්න බැහැ, දැන් මගේ පුතාටත් කුස්සියේ වැඩ පුළුවන්-නිලි මාදනී මල්වත්ත

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි මාදනී මල්වත්තගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම වේදිකාව රූපවාහිනිය සිනමාව එක ලෙස ගත් රංගන කෞෂල්‍ය පරිපූණද කලාකාරිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් පුංචි තිරය හරහා නිතරම බොහෝ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට එන මේ දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ ගේ දොර වැඩ කටයුතු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස් වල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කෙරීගෙන යනවා. ඊට අමතරව අවුරුදු දෙකකට වැඩි කාලයක් කොරෝනා නිසා ඈත් වුණු වේදිකා නාට්‍යය රංගනය ඉදිරියේදී ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම මට මොන තරම් රාජකාරි බහුල වුණත් ගෙදරින් පිට වෙනකොට ගෙදර සියල්ල සැලසුම් කරලයි යන්නේ. සැලසුමකට අනුව වැඩ කරන එක මගේ ජීවිතේම කොටසක්. ඒ නිසා ගෙදර හිටියත් නැතත් නිවසේ කටයුතු සියල්ල මා අතින් සිදුවෙනවා.

ගෙදර ඉන්න දවසට මම ආසම දේ තමයි පුතා කන්න කැමතිම කෑම හදලා දෙන එක. එයා හරි ආසයි කටට රහට කන්න. මම බදින්න කලින් ගෙදර ඉන්නකොටනම් ඉව්වෙ නැහැ. කට්ටි පැන පැන හිටියේ. අම්මගෙ බල කිරිල්ලට පොල් නම් ගාලා දෙනවා. ඒ ඇරෙන්න උයන්න හරියටම පටන් ගත්තෙ බැඳලා ආවට පස්සෙ. ඉස්සර නම් ඉතින් නිතරම අම්මගෙන් කෝල් කර කර අහනවා වෑංජන හදාගන්නෙ කොහොමද කියලා. තුනපහ දාන ප්‍රමාණය, ලූනු, අමු මිරිස් කොච්චර ඕනෙද, පොල්කිරි කොච්චර ඕනේ ද කියාලා අහනවා. ඔය විදිහට වැරදි වැරදි තමයි හරියට උයන්න ඉගෙන ගත්තේ. ඉස්සර මම හදන කෑම මටම කටේ තියන්න බැහැ. එහෙම උනහම මමම අඩුපාඩු හදා ගත්තා. දැන්නම් ඕනම කෑමක් කටට රහට හදන්න පුළුවන්.

මගේ අම්මා නුවර පළාතේ .අම්මට ඕනෑම කෑමක් හරිම රසට උයන්න පුළුවන්. අම්මා ට ලොකු අත් ගුණයකුත් තිබුණා කියලා මම නිතරම විශ්වාස කරා. ඇත්තටම මුලදී කටේ තියන්න බැරුව කෑම හදපු මම අද වෙනකොට හරිම රසට කෑම හදන්නේ පළපුරුද්ද නිසාමයි. කෑම එක දැක්කහම මුලින්ම හිත පිරිලා, පසුව බඩ පිරෙන්නයි මම කෑම හදන්නේ.

කාලයේ තාලෙට අප වෙනස් විය යුතුයි. කාර්යබහුල ජීවිතය පහසු කරන්න මුළුතැන් ගෙට ආපු උපකරණ හොඳයි. නමුත් නුවර පළාතේ පුංචි කාලේ ඉඳලා මම දැකපු මුළුතැන්ගේ සුන්දරත්වය අද වර්තමානේ කොන්ත්‍රීට් වනාන්තරවල දකින්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. දර ලිප, වංගෙඩිය, මිරිස් ගල, කුරහන් ගල, කුල්ල, ලුණු පොල් කට්ට කහ ගුලිය, මිරිස් ගුලිය මේ ඔක්කොම දැක්කහම එදා කුස්සිය හරිම සිරියාවන්තයි.

ඉතින් ඒ වගේම මගේ පුතා උසස් පෙළ හදාරන වයස ඉන්නේ. අදටත් මම නිවසේ නැත්නම් පුතා ඔහුට අවශ්‍ය දේවල් හදාගන්නව. නිවස පිරිසිදු කරනවා. නිවසක වගකීම බිරිඳක් මවක් දැරිය යුතුයි කියන මතය අද වෙනකොට සමාජයෙන් බොහෝ දුරට ගිලිහී ගිහින්. ඒ වෙනසට මම ගොඩක් කැමතියි. මගේ පුතත් ඒ වෙනසට හැඩගැසිය යුතුයි කියලා මං විශ්වාස කරනවා.

අපේ අම්මලා අත්තම්මලා වගේ හාල් මිටක් අරන් තියන එක, මිරිස් කරල් ටිකක් අරන් තියන එක අද මගේ අතින් වෙන්නේ නැහැ. නමුත් බත් ඇටයක්වත් අහක දාන්නෙ නැති වෙන්නයි මම උයන්නේ. මොකද කෑම අපතෙ දානවා කියන්නේ සල්ලි විසි කරනවා වගේ වැඩක්. ඒ නිසා වියදම් කරන රුපියලටත් වටිනාකමක් හැමතිස්සෙම දෙන විදිහටයි මම කෑම වේල පවා පිළියෙල කරන්නේ.