Paper Article

ඉස්සර ටික්ටොක් වලට බැනපු අයත් දැන් ටික්ටෝක් කරනවා-ජනප්‍රිය සුරූපී නිලි ලෝචනා ජයකොඩි

දඟකාර කටකාර ටික්ටොක් හරහා හැමෝගේම ආදරය දිනාගත්ත ලෝචනා ජයකොඩි, එහෙමත් නැත්තන් ලෝචි කියලා කියන්නේ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම යූ ටියුබ් හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. අදවන විට ඇය තම රංගන කුසලතාවය ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂකයන්ට පෙන්වමින් සිටිනවා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වන රේස් ටෙලිනාට්‍යයේ රන්දුලිගේ චරිතයෙන්. ඉතින් මේ කළා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන ලොචි ඇයගේ අලුත්ම තොරතුරු පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ඇත්තටම මගේ මෙගා නාට්‍යවල රඟපාන්න කැමැත්තක් නැහැ. මම මෙය භාරගත්තේ මෙය මෙගා ටෙලිනාට්‍යයක් නොවන නිසා. මේ නාට්‍යය තුළ මම, සිකා, රැට්ටා වගේ අපි කිහිප දෙනෙක්ම රඟපානවා. විශේෂම කාරණය තමයි මේ නාට්‍යය ආරම්භයේදීම මට මෙහි පිටපත ලැබුණා. ඒ නිසා මෙහි මුල මැද අග පිළිබඳ මට අවබෝධයක් තියෙනවා. අනෙක් අතට බොහෝ ප්‍රේක්ෂක ඉල්ලීම් තිබුණා රඟපාන්න කියලා ඒ අය මාව ටෙලිනාට්‍ය තුළින් දකින්න ආසයි කියලා. ඉතින් ඒ සෑම දේකම එකතු වීමෙන් රඟපාන්න තීරණය කළා.

ඇත්තටම චරිතය නිරූපණයේදී නම් මට එච්චර අපහසු වුනේ නැහැ. මොකද මගේ සැබෑ චරිතයට බෙහෙවින් සමානයි රන්දුලිගේ චරිතය. සමාජ මාධ්‍ය පරිහරණය කරන යූටියුබ් චැනල් එකක් කරන චරිතයක්. චරිතයේ හැටියට අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති වුණත් සැබෑ ජීවීතයේ නම් එහෙම නෙවෙයි. එය මට කරන්න හරිම පහසුයි. ඉස්සර නම් බොහෝ දෙනෙක් ටික් ටොක් එකට දෝෂාරෝපණය කළා. දැන් ඒ අයත් ටික් ටොක් කරනවා. ඒ අය දකින විට ලොකු සතුටක් දැනෙනවා. ටික් ටොක් එක කියන්නේ සින්දුවකට නටන එකක් විතරක් නෙවෙයි. මේ ප්ලැට්ෆෝම් එක තුළ බොහෝ හරවත් දේ කළ හැකියි. නටන්න, කෑම හදන්න, වෛද්‍ය උපදෙස්, ඉගැන්වීම්වලට වගේ ලොකු දෙයක් කරන්න පුළුවන් වගේම අද වන විට මේවා අත්විදින්නත් පුළුවන්. සතුටුයි ඒ ගැන. මම පටන්ගන්න කාලේ ටික් ටොක් විරෝධි සංගම් නිර්මාණය වුණා. ටික් ටොක්වලට රිපෝට් කළා. අදවනවිට ලංකාවේ ටික් ටොක් වෙරිෆයි වෙලා තියෙනවා. ඉන්දියන් ටික් ටොක් ටීම් එක ලංකාවේ ටික් ටොක් හැන්ඩ්ල් කරනවා. මට හිතෙනවා අද වනවිට එය ඉතාම හොඳ තැනක තියෙනවා.

ඇත්තටම මගේ කතාව මම එළියට දෙන්න ඕන කියලා මම හිතුවේ නෑ. ඒක වුණේ අහම්බයෙන්. මගේ අම්මා නැතිවෙලා දැන් අවුරුදු නවයක් වෙනවා. මෑතක මට සයිබර් බුලින්වලට මුහුණ දෙන්න වුණ වෙලාවෙදි මට කියන්න තිබුණා මගේ අම්මා නෑ. ඇයි මට මෙහෙම කරන්නේ කියලා. මම කවදාවත් එහෙම අනුකම්පාවක් බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි. ළහිරුගෙ වැඩසටහනට කතා කරන විට ඔහු මා ගැන පෞද්ගලිකව නොදන්නා නිසා වැඩසටහනට පෙර මා සමඟ දුරකතනයෙන් කතා කළා. එහිදී තමයි ඔහු දැනගන්නේ මගේ මව නැතිබව. ඒ වැඩසටහනින් පසුව බොහෝ දෙනෙක් මට කතා කළා. ගොඩක් ගැහැනු ළමයින්ගේ ප්‍රශ්න මා එක්ක කතා කළා. මම ඇත්තටම අද හිතනවා මගේ කතාව හරිම වෙලාවෙදි එළියට ආවා කියලා. ඒකෙන් හොඳ දෙයක් වුණා. බොහෝ දෙනෙක් මට ආදරේ කරන්න ගත්තා. නමුත් මට කිසිම වෙලාවක් ඒක මාර්කට් කිරීමට අවශ්‍ය වුණේ නෑ.

අද වන විට මට ලක්ෂ පහකට වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම තවමත් නිසි පිළිතුරක් ලබා දී නෑ ඔවුන්ට මම සම්බන්ධ වෙනවද කියලා. මගේ ලොකුම බලාපොරොත්තුව ලංකාවේ සයිබර් බුලිං නිසා ගෑනු ළමයින්ට වන හිංසනය පිළිබඳ යමක් කරන්න. කොරෝනා නිසා ඒ වෙනුවෙන් යමක් කරන්න එළියට යන්න මේ වෙලාවේ අපහසුයි. මේ ප්‍රශ්නෙට මමත් මුහුණ දුන්නා. ඒ වගේම මෙවැනි ප්‍රශ්න නිසා පීඩාවට පත්වුණ සහෝදරියන් බොහෝ දෙනෙක් මට මැසේජ්වලින් ඊමේල්වලින් ඔවුන්ගේ දුක කියනවා. මේ වෙනුවෙන් නීතීයක්, යම් ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ වුවමනාව තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිමේ අවශ්‍යතාව මට තියෙනවා. මේ ලිපිය බලලා කෙනෙක් කැමති නම් ඒ වෙනුවෙන් උදව් කරන්න ඒකත් මට වටිනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment