Paper Article

අවංකවම ආදරේ කරනවා නම් ආදරය හරිම සුන්දරයි – නවක සුරූපී නිලි නිත්‍යා දේවින්දි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. මුතුලෙන්දොර ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසුණු ඇය මේ දිනවල පාර දිගේ ටෙලිනාට්‍ය හරහා වගේම සියත නාලිකාවේ විකාශනය වන රේස් ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන මෙන්න මේ විදිහටයි කියලා තිබුනේ.

ඇත්තටම මම සාමාන්‍ය හරි සන්තෝෂයෙන් ඉන්න කැමැති කෙනෙක්. මම අපේ අම්මගෙ දෙවැනි දුව. අම්මා ගෘහණියක්. අම්මගෙ නම නෙලිකා දේවින්දි. තාත්තාගේ නම ලලිත් කුමාර. තාත්තා ජීවතුන් අතර නැහැ. පවුලේ අයියයි, නංගියි, මමයි විතරයි ඉන්නේ. මගේ ගම ගාල්ලෙ අහංගම. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ අහංගම ශ්‍රී ධර්මාරාම විද්‍යාලයෙන්. පසුව උසස් පෙළට ගියේ ගාල්ල ශ්‍රී හාදය කන්‍යරාමයට.

ඉගෙන ගන්න කාලයේදී මගේ මූලික අරමුණ වුණේ නීතිඥවරියක වීමටයි. ඊට පසුව තාත්තාගේ වියෝව එක්ක ඒ ගමන නතර වුණා. මම 2019 දී දෙරණ අවුරුදු කුමරා සහ කුමරිය තරගයට ඉදිරිපත් වුණා. ඉතින් අන්තිම 12 අතරට ඇවිත් ඒ ඔස්සේ කලා අංශයට එන්න අවස්ථාව හිමි වුණා. ඇත්තටම පවුලේ අයගේ උනන්දු කරවීම එක්ක තමයි අවුරුදු කුමරිය තරගයට ගියේ.

කොහොම නමුත් රංගනය අද මන්ගේ වෘත්තිය වෙලා. ඒත් එහෙමයි කියලා මම මහා වැඩ ගොඩක් එක්ක බිසී වෙච කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් ඒ කාලයේ ඉඳලාම රගපෑම කියන දේට ආසා කළ කෙනෙක්. ලැබෙන නිර්මාණවලට උපරිම දායකත්වය දෙන අතරේ වැඩ ගොඩක් එකට බදාගන්නත් මම කැමැති නැහැ. මම මුලින්ම රඟපෑවේ මුතූ ලෙන්දොර නාට්‍යයේ. මං රංගනයේ ගමන පටන් ගත්තෙ එතැතින්. එයින් පසුව යම්කිසි අස්ථාවර බවක් එක්ක ටික කාලයක් ගත කරන්න සිද්ධ වුණා. සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් පායනවා වගේ නැවත මගේ රංගන ජීවිතය අලුත් වුණේ පාර දිගේ නාට්‍යය එක්ක. ඊට අමතරව සියතේ රේස් නාට්‍යයේ රගපාන්න ලැබුණා. මේ දිනවල මේ චරිත දෙක එක්ක ජීවිතය හොඳින් ගත කරන බව කියන්න පුළුවන්.

ඇත්තටම මම දැන් ආදරවන්තියක්. ආදරේ නැතුව ජීවිතේ ගලා යන්නෙ නැහැ. අවංකවම ආදරේ කරනවා නම් ආදරය හරිම සුන්දරයි. ඒත් බැලු බැල්මට හතර වටේ පෙනෙන දකින ආදරය කියලා මිනිස්සු මවා ගත්ත දේවල්. ඒ ස්වභාවය එක්ක ඇත්ත වූ සැබෑ ආදරය සොයා ගන්න පුළුවනි. මම යම් කිසි දෙයක් පටන් ගත්තොත් ඊට අවංකවම කැප වෙලා, අවංකවම කරන කෙනෙක්. ආදරයේදීත් එහෙමයි. අවංකවම ආදරය කරනවා. මටත් අවංකවම ආදරය ලැබෙනවා. ඒ නිසා සතුටින් ඉන්නෙ.

මට හිතෙන විදිහට මම හරි සරලයි. සමහරු නම් කියන්නෙ මම සරල වැඩියි කියලයි. අතට අහු වෙන දේ ඇඳ පැළඳ ගෙන හිටපු කෙනෙක් මම. ඕනෑවට වඩා විලාසිතා ගැන වද වූ කෙනෙක් නෙවෙයි. දැන් වුණත් එහෙමයි. ලොකු වෙනසක් වෙලා නැහැ. ලොකු ලොකු හීන මවාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි.

මුලින්ම මම ගමන පටන් ගත්තෙ මියුසික්වලින්. මට ගයන්න පුළුවනි. බොහෝ විට ගායනයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. රගපෑමට ආවේ එක්තරා විදිහක අහම්බයකින්. රංගනය පාසලේදී එක්තරා විදිහක අහඹු ලෙස පටන් ගත්ත ගමනක් කිව්වොත් හරි. ගායනයට දක්ෂ බව ගෙදර අය දැනගෙන සිටි නිසා එයාලා නිතරම මාව උනන්දු කෙළේ රියැලිටි ෂෝ වගේ අවස්ථාවලට සහභාගි වෙන්න කියලයි. ඒත් අන්තිමට පටන් ගත්තේ අවුරුදු කුමරා කුමරිය තරගයෙන්. ඉන් පසුව මේ ගමන පටන් ගන්න ලැබුණෙ රංගනයෙන්.

ඉතින් ඒ වගේම ගෙදරදි මම වඩා දක්ෂ ප්‍රශ්න විසඳන්න. ගෙවල්වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ වගේ අවස්ථාවලදී ප්‍රශ්න විසඳන්න මම දක්ෂයි කියලා තමයි ගෙදර අය කියන්නේ. තාත්තා ලෙඩ වීම සහ පසුව නැති වීම එක්ක අපි බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අද අපි සිටින තැනට එන්න අපි ඔක්කොමලා ලොකු කැපවීමකින් කටයුතු කළා. මට, අයියාට හොඳට දරා ගැනීමේ ශක්තිය තියෙනවා. නංගි තවම පොඩියි. අපේ අම්මා අපි හැමෝටම වඩා දරා ගැනීමේ ශක්තිය වැඩි චරිතයක්. මොන දේ හෝ වේවා ප්‍රශ්න විසදීමේ හැකියාව මට තියෙනවා. ගෙදර දොර වැඩත් කරගන්න පුළුවන්. ඉවුම් පිහුම් කලාවේදී මගේම සිස්ටම් එකක් තියෙනවා කියලයි මේ සුන්දර රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.