Paper Article

අම්මා දුන්න ශක්තිය ධෛර්යය නිසා මට මගේ හීනයට යන්න පුළුවන් වුණා-ජනප්‍රිය නළු විරාජ් දනූෂ

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනූෂ කියලා කියන්නේ. පහුගිය කාලයේ තිරගතවුනු ඒ ලෙවල් චිත්‍රපටයෙන් වගේම අහස්මාලිගා ටෙලිනාට්‍ය හරහාත් අපිට ඔහුගේ රංගන හැකියාවන් දැක බලාගන්න අවස්ථාව හිමි වුණා. ඒ වගේම තමයි ඔහු මේ දවස් වල කාගේත් කතා බහට වගේම ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ ගැන්සියේ ඉන්න සුද්දාගේ චරිතය නිසයි. ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියා පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මුලින්ම මට රඟපාන්න ලැබුණේ ඒ-ලෙවල් චිත්‍රපටයේ. ඉතින් ඊට පස්සේ රංගනය ගැන හදාරන්න මම කොළඹට ආවා. සද්ධා මංගල සූරියබණ්ඩාර සර්, විජේතුංග මිස් යටතේ ඉන්ෆාස් ආයතනයට බැදිලා මම ප‍්‍රසන්න මහගමගේ සර් යටතේ සහ තවත් ගුරුවරු යටතේ බොහෝ දේ ඉගෙන ගත්තා. ඉන්පසුව ටෙලිනාට්‍ය කීපයක රඟපෑමට අවස්ථාව ලැබුණා. මම ප්‍රධාන චරිතයක් මුලින්ම රඟපෑවෙ අමුතු රසිකයා නාට්‍යයේ.

මගේ ගම අනුරාධපුරයේ සිට කිලෝමීටර් 33ක් විතර ඇතුළට ගියාම තියෙන විලච්චියෙ. මම ඉන්නේ ගැමි පරිසරය සහ සුන්දරත්වය උපරිමයෙන් තියෙන ගමක. මම මුලින්ම ගියේ ගමේ පාසලට විලච්චිය සිද්ධාර්ථ මහා විද්‍යාලය. ඊට පසුව තක්ෂිලා විද්‍යාලයටත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයටත් සහ වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට ගියා. ඒ පාසල් හතරම මගේ ජීවිතයට ආලෝකයක් වූ බව ගෞරවයෙන් සඳහන් කරන්න කැමතියි. මම පාසල් කාලයේදී හරිම අකීකරු, දැඟලිල්ල උපරිමයෙන් තිබූ කොල්ලෙක්. පාසලේ අනෙක් වැඩත් හොඳටම කළා. වසර 15ක් නර්තනය, වේදිකා නාට්‍ය, කථික තරග සහ තවත් ප්‍රසංගවල සහ බෞද්ධ සංගමයේ සභාපති වෙලත් හිටියා.

අපේ පවුලේ දැනට ඉන්නෙ අම්මයි, නංගියි, මමයි. තාත්තා නැති වෙලා අවුරුදු 7ක් විතර වෙනවා. අම්මා දුන්න ශක්තිය ධෛර්යය නිසා, මගේ හීනයට යන්න පුළුවන් වුණා. අම්මයි, නංගියි එක්ක ජීවිතය ගෙවනවා. විලච්චියෙ ඉඳලා තමයි කොළඹ වැඩවලට එන්නෙ. පාසල් සමයේදී මට විවිධ විවිධ දක්‍ෂතා තිබුණු නිසා මගේ ප්‍රධාන ආසාව වුණේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න. ක්‍රිකට් ක්‍රීඩා කළා. එතැනින් පසුව ඒ ඔක්කෝම දේ අත්හැරලා කලාවට ආවට පස්සේ නළුකම ප්‍රධාන අරමුණ කරගෙන කටයුතු කරන්න පටන් ගත්තා.

මම ඒ කාලේ ඕල් රවුන්ඩර් කෙනෙක්. පන්දු යැවීමට වැඩිපුර දක්ෂතා පෙන්වුවා. ක්‍රිකට්වලින් දුර නොගියේ රංගනයෙන් අවස්ථා ලැබුණු නිසයි. ඊට පසුව නළුකමට ආසා කළා. ජනප්‍රියත්වය කියන දේ ලබන්න ආසා කළා. ලොකු පිරිසක් වටා විශේෂ කෙනෙක් වෙනවාට ලොකු කැමැත්තක් තිබුණා. විලච්චිය ඉඳලා ක්‍රිකට් ගහන එකට වඩා, නළුකමට එන මාර්ගය තරමක් පහසු වුණා. කොහොමටත් නර්තනය කළේ කුඩා කාලයේ ඉඳලමයි. නළු හීනය හැබෑ කර ගන්න එක් අරමුණකට ආවා.

අද මම මිනිස්සු දන්නා තැනට, මිනිස්සු ප්‍රිය කරන තැනට ඇවිත්. ඒත් නළුවකු ලෙස පරිපූර්ණ වීම මුළු ලෝකයක් පිළිගන්න තැනට පැමිණීම මගේ අරමුණයි. නිකම්ම නළුවකු නොවී පරිපූර්ණ නළුවකු වීමට මම කැපවෙනවා. මම තවම ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උපාධිය අරගෙන පරිපූර්ණ නළුවකු ලෙස ස්ථාවර වීම තමයි මගේ අරමුණ.

ඉතින් ඒ වගේම නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා නිසා මගේ ජීවිත්තේ බොහෝ දේ වෙනස් වුණා. මම හීනයක් කරගත්ත මිනිසුන්ගේ ආදරය කරන දේ අද මට ලැබෙනවා. ප්‍රසිද්ධ කියනවාට වඩා ජනප්‍රිය නළුවකු, එනම් මිනිස්සු ප්‍රිය කරන ශිල්පියෙකු වෙලා. ඒක මට ලොකුම ලොකු සතුටක්. මම බලාපොරොත්තු වූ සතුට එයයි කියලයි මේ දක්ෂ රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.