Paper Article

අම්මා කෙනෙක් වෙලා මම මේ ගත කරන්නේ මගේ ජීවිතේ වාසනාවන්තම කාලේ-ජනප්‍රිය නිලි මුතූ තරංගා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන ආදරණීය අවිහිංසක රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියලා කියන්නේ. කාලයක් රුපවාහිනී තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඇය පහුගිය දවසක හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා. ඒ ආදරණීය පුංචි පුත් කුමාරයෙක් මේ ලෝකෙට බිහිකරමින්. ඉතින් ඒ ගැන වගේම ඇයගේ ජීවිතේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. රංගන ශිල්පිනියක් විදියට හිටපු මගේ ජීවිතේම දැන් ලොකු වෙනසක් වෙලා. සමහර වෙලාවට මාව නිකං කරකවලා අතෑරියා වගේ. අම්මා කෙනෙක් කියන්නේ ලොකු වගකීමක් තියෙන කෙනෙක්. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙක්. අම්මා කෙනෙක් වෙන්න වාසනාවක් තියෙන්න ඕන. අම්මා කෙනෙක් වෙලා මම මේ ගත කරන්නේ මගේ ජීවිතේ වාසනාවන්තම කාලෙ කියලා මට හිතෙනවා.

මම ආස වුණේනම් පුතෙක්ට. නිශාන්ත ආස වුණේ දුවෙක්ට. දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ කියන හැඟීමෙන් අපි දරුවාගෙ මූණ දකින්න ආසාවෙන් හිටියෙ. කොහොම හරි අපිට පුතෙක් ලැබුණා. පුතාගෙ නම තමයි තියෝන් ජයවර්ධන. තියෝන් කියන්නේ දෙවියන් දුන්න තෑග්ග කියන අදහස. ඉස්සර ප්‍රෙග්නන්ට් අයව දකිනකොට මට දැනුනේ බයක්. දරුවෙක් කුස දරාගෙන ඉන්න අම්මා කෙනෙක් දකිනකොට බය හිතෙනවා. බඩ පිපිරෙයි කියලා හිතෙනවා. මගේ නංගිට බබා හම්බවෙන්න ඉන්නකොටවත් මම එයා ළඟට ගියේ නෑ. සමහර වෙලාවට එයා මට ළඟට කතා කරනවා, අක්කෙ බබා දඟලනවා බලන්න කියලා. මම ඒත් ගියේ නෑ. ඒත් මට පුතා හම්බවෙන්න ඉන්න කාලෙ පුතා දග කරනකොට මට කියාගන්න බැරි සතුටක් දැනුණා. මම කොච්චර මෝඩද, පව්කාරද කියලා දැනුණා. දරුවෙක් හදන්න පරක්කු කරපු එක ගැන.

බබා ලැබෙන්න කිට්ටු වෙද්දී එයා බඩේ ඉඳන් දඟලනකොට දැනුණු හැඟීම් විස්තර කරන්න බැරි තරම්. එක පාරටම බඩ එක පැන්නකට ඇලවෙනවා. ඒ අත්දැකීම හින නිවන සතුටක්. දරුවෙක් කුස දරාගෙන ඉන්න හැම අම්මා කෙනෙක්ම ඔය අත්දැකීම විඳිනවා. එහෙම සොදුරු අත්දැකීමක් විඳින සමහර අම්මලාම දරුවෝ ලැබුණට පස්සෙ ඒ දරුවන්ව අතෑරලා දාලා යනවා. ඒ වගේ පින්බර ආදරණීය අත්දැකීමක් විඳලා කොහොමද එහෙම දරුවෝ දාලා යන්නෙ කියලා මට හිතාගන්න බැහැ. එහෙම කරන්න හදන්න ඕනාවට දරුවෝ හදපු අම්මලා. දරුවෙක් ගැන හැඟීමක් ඇතිව දරුවෝ හදන අම්මලාට එහෙම කරන්න බෑ කියලයි මම හිතන්නෙ. දන්නවද මගේ නංගිට පුතා හම්බ වුණාට පස්සෙ පුතාව දැක්ක වෙලාවේ මට කිරි එරුණා. මම අම්මාගෙනුයි, නංගිගෙනුයි ඇහුවා මට වේනසක් දැනුණ නිසා. බලද්දී මට කිරි එරිලා. ඒත් තමන්ගේ දරුවා වෙනුවෙන් කිරි එරුණු අම්මලා දරුවෝ දාලා යනකොට මට දුකක් දැනෙනවා.

ඇත්තටම හිතාගෙන හිටියෙ නෑ අම්මා කෙනෙක් කියන්නේ මේ තරම් කැපවීම් කරන කෙනෙක් කියලා. බබා හම්බ වෙන්න ඇවිත් මාස 3ක් ගියාට පස්සෙ තමයි හිතුණ මගේ අම්මා කොච්චර දුක් විඳින්න ඇද්ද කියලා මාවයි, නංගිවයි හදන්න. අපි දෙන්නා එක ළඟ හම්බ වුණ දෙන්නෙක්. මගේ අම්මා වගේම ඉස්සර අම්මලා දරුවෝ එක ළඟ කීප දෙනෙක් හදපු අය. දැන් අම්මලා වෙන බොහෝ කාන්තාවන් එක දරුවෙක් ඇති කියන තැනට එනවා. ඒත් ඉස්සර අම්මලා බබාලා ගොඩක් හදනවා. ඒ හැම ප්‍රසූනියන්ගේ සාමාන්‍ය විදිහට කෙරෙන්නේ. මගේ අම්මාට මම හම්බවෙලා දවසකට පස්සෙ මැහුම් දාලා තිබ්බේ. මොනතරම් වේදනාවක් විඳින්න ඇන්ද කියලා දැන් මට හිතෙනවා.

මම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට වැඩ ගොඩාක් ආවා. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙමනෙ. අපිට වැඩක් භාරගන්න බැරිවෙනකොට වැඩ එනවා. මුලින් කොටස් 15 කරපු නිර්මාණවලට මම වෙනුවට වෙන අයව දාලා තිබුණා. කොහොම වුණත් මම දැන්මම රඟපාන්නේ නෑ බබා වෙනුවෙන් මම ඉන්න ඕන. ඒක කොච්චර කාලයක් වෙයිද කියන්න බෑ. කොහොම වුණත් කාලෙකට මම රඟපාන්නෙ නෑ කියන තීරණය අරගෙන ඉන්නේ. මාස ගාණක් බඩේ තියාගෙන ඉඳලා හදලා එහෙම එයා නැතුව එක මොහොතක් මට ඉන්න අමාරුයි. කොහොම වුණත් සෑහෙන කාලයකට මම රඟපාන එකක් නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment