Paper Article

අපේ පාරම්පරික ගොවිතැන් ක්‍රමයේ ගොවීන් හිටියා නම් කෘමිනාශක අවශ්‍ය වෙන්නේ නෑ- ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි කමල් අද්දරආරච්චි කියලා කියන්නේ. ඔහු හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ ලොකුදුව චිත්‍රපටය වෙනුවෙන් ස්වර්ණ සංඛ සිනමා උලෙළේ 1997 වසරේදීය. ඒ සඳහා ඔහුට සරසවිය සහ ජනාධිපති සම්මාන උලෙළවලදී හොඳම සහාය නළුවාට හිමි සම්මාන පවා ලැබුණා. ඊටත් පෙර සප්ත කන්‍යා චිත්‍රපටය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන ලැබූ අතර එහි දමයන්ති ජයසූරිය ප්‍රවීණ ශිල්පිනිය සමඟ ගයන උන්මාද වූ ප්‍රේමාදරේ ගීතය සඳහා හොඳම ගායකයාට හිමි ජනාධිපති සම්මානය හිමිකර ගන්නට සමත් වුණා. ඉතින් ඒ වගේම පුංචි තිරයේ ඔහු වෙද හාමිනේ, හිරුට මුවාවෙන්, රතුරෝස ආදී නිර්මාණ විස්සකට පමණ දායක වී දඬු බස්නාමානය වෙනුවෙන් පළමු සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා මෙන්ම ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ද්විත්වයක් හිමි කරගන්නටද වාසනාවන්ත වුණා. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවකට එකතුවෙමින් මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.

මට කොවිඩ් කාලේ වුණත් ගෙදරට කොටුවෙලා නම් ඉන්න ලැබුණේ නෑ. මොකද අපි ඉන්නේ වගා සංග්‍රාමයක සහ නිෂ්පාදන ක්‍රියාවලියකනේ. අපි අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයක සෑහෙන කාලෙක ඉඳන් යෙදෙනවා. ඒ කියන්නේ ටින්මාළු කර්මාන්තය. ඉතින් ඊට අමතරව කෘෂි කර්මාන්තයෙත් විශාල රික්තයක් තිබෙනවා, ගොඩක් දේවල් කරන්න පුළුවන් බව පේනවා. ඒ නිසා මගේ තවත් මිතුරු හවුල්කරුවන් දෙන්නෙකුත් සමඟ, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගොවීන් එක්ක දේශීය වී වගාවකට නැඹුරු වෙලා ඉන්නවා. බාස්මතී වී ආදේශකයක් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ වෙනුවෙන් කරුවලගස් වැව, තබ්බෝව පැත්තට නිතර කොළඹ සිට යන්න වුණා.

මේ දවස් වල රසායනික පොහොර ප්‍රශ්නයක්නෙ මේ ලොකුවට ගැටලුවක් කරගෙන තියෙන්නේ. ඒ්ත් තවමත් තියෙනවා අතගහලාවත් නැති කුඹුරු ඔය ප්‍රශ්නය නැති. වෙලා තියෙන්නේ අද ගොවීන් කම්මැළි වෙලා. අනෙක ගොවීන් අතර තිබෙන සදාචාරාත්මක ගනුදෙනුව, බැඳීම ගිලිහිලා. පාරම්පරික අපේ ගොවිතැන් ක්‍රමවේදයත් එක්ක ගොවීන් හිටියා නම් මේ කෘමිනාශක, වල් නාශක අවශ්‍ය වෙන්නේ නෑ. ඒත් අපේ අධිරාජ්‍යවාදී බඩගැත්තර සිතිවිලි නිසා නැත්නම්, වෙනත් වාණිජ පරමාර්ථ මුල් කරගත් කරුණු මත රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ගෙන්වන්න ගත්තට පස්සේ තමයි මේ අර්බුදය මේ ලංකාවට ඇති වුණේ. ප්‍රමාණාත්මකව බලද්දි යන වියදමත් එක්ක ඒවායින් ලැබෙන අස්වැන්න බොහොම සුළුවෙනුයි වැඩි වෙන්නේ. හැබැයි ඊට වඩා විශාල හානියක් මහපොළොවටත්, මිනිසුන්ගේ ජීවිතවලටත් කරලා රටේම ප්‍රශ්නයක් බවට අද පත්වෙලා තිබෙනවා. ඒකට කරන්න වෙලා තිබෙන වියදම බැලුවාම මහ ව්‍යසනයක් මේක. අනෙක ලෝකෙම අද බැලුවාම කාබනික පොහොර සහ ආහාරවලට නැඹුරු වෙලා තිබෙන කාලයක්. මෙය පරිවර්තනය කළ යුතු ආකාරය කුමක්ද කියලා මට අවංකවම කියලා දෙන්න බැහැ ගැටලු ගොඩක් ඇති වන නිසා. ඒත් ඒ පරිවර්තනය ලෝක අවශ්‍යතාවක්.

ඕනෙ නම් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන් කුඹුරක් ආපහු කාබනික කරන්න නම් පළමුවෙන්ම රසායනික පොහොරවලින් ඉවත් වෙන්න ඕනෙ. ඊළඟට හරි කාබනික පොහොර අපි හොයා ගන්න ඕනෙ. තුන්වැනුව වගා කරන ක්‍රමවේදය හරියට කරන්න ඕනෙ. ඒ කියන්නේ ඉස්සර අපේ මිනිස්සු වතුර බැන්දා. පැළ හිටෙව්වා. දැන් වතුර බඳීනවා කියන දේ හරියට කරන්නේ නෑ. කෙළින්ම මඩ කළා, වී ඉහගෙන ගියා. ඒක නෙවෙයි හරි විදිහ. අපේ ගොවීන් ඉස්සර එකිනෙකාට ලොකු අන්‍යෝන්‍ය බැඳීමක් තිබුණා. පවුල් අතරෙත් ගොවි සම්ප්‍රදායක් තිබුණා. ඒත් අද ගොවීන් කවුද කියලා බැලුවොත් දියවන්නාවේ වගේම හැටපැනපු නාකි සෙට් එකක් ඉන්නේ. ඒ අයට මහන්සි වෙන්නත් ඇඟට අමාරුයි වගේ. අනෙක වී ඉහින්නේ නැතිව පැළ හිටවනවා නම් වල් නෙළන්න යන්න කුඹුරේ ඉඩක් තිබෙනවා. ගොයම් ගහට හැදෙන්න පරතරයක් තිබෙනවා. ජපානයේ වුණත් කරන්නේ ඒ ක්‍රමය. අපේ බිත්තර වී ගත්තාම ඒවා කලවම්. ඒ ප්‍රශ්නය පැළ හිටවද්දි එන්නේ නෑ. අපි බිත්තර වී නිෂ්පාදනයටත් දැන් කටයුතු කරගෙන යන්නේ මේ හේතු නිසා.

මම මේ ගොවි තැනට බැස්සේ හා පුරා කියලා ගිය කන්නෙ. මේ ගෙවෙන්නේ දෙවැනි කන්නය. මුලින් කළේ අක්කර දොළහක් විතර. මේ කන්නේ අක්කර 400ක් විතර කළා. ඒත් අපට අස්වැන්න ගන්න පුළුවන් වුණේ අක්කර තුන්සියයක වගේ තමයි. මොකද හිටපු ගමන් ගොවීනුත් ශත පනහට රුපියලට පවා වෙනස් වෙනවා. පසුගිය කන්නයේ අපට කරන්න වුණෙත් රටේ හැමතැනම කෙරෙන විදිහට. ඒත් මේ කන්නයේ අපටත් පොහොර ප්‍රශ්නය එනවා. ඒත් කවුරුහරි ගොවියෙක් පැළ හිටවන යන්ත්‍රයක් හෝ භාවිත කරලා වගා කළොත් බිත්තර වී නාස්තියත් වැළැක්වෙනවා, වල්පැළෑටි ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා, අස්වැන්නත් හොඳයි.

පහුගිය කාලේ මට ආරාධනා ලැබුණු නිර්මාණවල ඒවායේ හැටියට මට තිබුණේ නෑ හොඳ දෙයක් කරන්න. හොඳ රංගනයක් නොකර මගේ කාලය කාගන්නවාට වඩා හොඳයි ඒ කාලය ප්‍රයෝජනයට අරගෙන මට ජීවත් වෙන්න සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරන එක. රංගවේදියා පැත්තකට වෙලා හිටියාට නිෂ්පාදනයක් වගේ රංගනය පුස් කන්නේ නෑනේ. එන්න එන්නම ඒක අලුත් වෙනවා. යටි හිතෙන් හෝ මොනවා හරි එකතු වෙනවා. අවුරුදු ගාණකට පස්සෙ මම රඟපෑවා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ. මම අවුරුදු හතරකින් විතර චිත්‍රපටයක රඟපාලා නෑ. අවුරුදු දාසයකින් දාහතකින් විතර ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. මොනවා කරන්නද? කවදා හරි ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන තරුණ වයසට ගිහින් හරි කරන්න බැරි වුණ දේවල් කරනවා. හැබැයි ඒකටත් ඉතින් සල්ලි තියෙන්න එපැයි. ඒ නිසා සල්ලි ටිකක් හම්බ කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment