Paper Article

අනාගතයේදී රඟපාන්න මට අදහසක් නෑ, ඒ නිසා දෙව්මිට මම හරිම ආදරෙයි-ජනප්‍රිය නිලි නයනතාරා වික්‍රමආරච්චි

දෙවෙනි ඉනිම ඔස්සේ රසික ආදරය ලබමින් ජනප්‍රිය සම්මාන රැසක් ඉතාම කෙටි කාලයකින් හිමි කරගැනීමට වාසනාවන්ත වුනු නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ. ඇය කළා ක්ෂේත්‍රයට පය තැබුවේ පාසල් යන කාලයේමයි. ඉතින් ඒ වගේම ක්ෂේත්‍රයට පැමිණ වසර දෙකක් ඇතුළත ඇය ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඇය පැමිණි ගමන් මඟට වසර හයක් වැනි කාලයක් වුවත් මේ වනවිට ස්ලිම් නීල්සන්, රයිගම්, සුමති ආදී සම්මාන දහයකට වැඩි සංඛ්‍යාවකට ඇය හිමිකම් කියනවා. කොහොම නමුත් අපේ රටේ ජනප්‍රියම ටෙලිනාට්‍යය වූ දෙවැනි ඉනිමේ දෙව්මි ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන නවතම ටෙලි නිර්මාණය වන පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය තුළින් චරිත ද්ත්වයකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මට වයස අවුරුදු දා හතේදීයී මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මගේ මුල්ම නිර්මාණය වෙන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂ ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්ගේ හංස පිහාටු ටෙලිනාට්‍යය. ක්ෂේත්‍රයට මාව හඳුන්වලා දෙන්නේ වේශනිරූපණ ශිල්පී විෂ්වනාත් විජේසූරිය හා චාමර සමරවික්‍රම. ඒ දෙදෙනාට මම ස්තූතියි කියන්න ඕන. ඔවුන් නිසයි මම ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහතාව හඳුනා ගන්නේ. මම මේ දවස්වල පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. මෙය දිවිත්ව චරිතයක්. මාව මේ නිර්මාණය සඳහා සම්බන්ධ කරගත් අනුරුද්ධ ජයසිංහට හා පිටපත් රචකයාට හා නාළිකාවටත් මා ස්තූතිවන්ත වෙනවා

ඉතින් ඒ වගේම මගේ මිතුරෙක් වන ප්‍රභාත් චතුරංග අයියා තමයි මාව දෙවැනි ඉනිමට සම්බන්ධ කරවන්නේ. ඒ වන විට දෙවැනි ඉනිමේ කාස්ට් එක තෝරගෙන තිබුණත් දෙව්මිගේ චරිතයට කෙනෙක් තෝරගෙන තිබුණේ නෑ. ඒත් මම ඒ වන විට වෙනත් නිර්මාණයක් භාරගෙන සිටියේ. ඇත්තටම ප්‍රභාත් අයියගේ පෙරැත්ත කිරීම නිසාම මම ගිහින් කතා කරලා ආවා. පසුව මට කෝල් එකක් ආවා දෙවැනි ඉනිමේ දෙව්මිගේ චරිතයට මාව තෝරගෙන තියෙනවා කියලා. මේ තරම් ආදරයෙන් ප්‍රේක්ෂකයෝ එය වැලඳගනියි කියලා හිතුවේ නෑ. දැන් මතක් වෙද්දි ගොඩක් සතුටුයි.

මුලින්ම කැමරාව ඉදිරියට එද්දී මම ඉස්කෝලේ යනවා. මේ වෙලාවෙදි මම මතක් කරනවා මම ඉගෙනගත් පාසල්වල විදුහල්පතිවරු වගේම ගුරුවරු. අධ්‍යාපන කටයුතුවලටත් හානියක් නොවී රංගන කටයුතු කරගන්න ඔවුන් මට ලොකු ශක්තියක් වුණා. මට මුලින්ම ලැබුණේ ගීතා කාන්ති ජයකොඩි, අනෝමා කුමුදුනි, උද්දික ප්‍රේමරත්න වගේ ප්‍රවීණයින් සමඟ රංගනයේ යෙදෙන්න. මුලින්ම ලොකු තැති ගැනීමක් තිබුණත් ඒ සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. මව උදව් කළා. මම දන්නැති දේ ඉගෙන ගත්තා. ඔවුන් දිහා බලාගෙන හැදුණා. මාවත් ආදරෙන් එකතු කරගත්තා. ඒ නිසාම මට හොඳීන් වැඩ කටයුතු කරන්න හැකි වුණා.

පොඩි කාලේ ඉදන්ම මගේ කැමැත්ත තිබුණේ නීතිඥවරියක් වෙන්න. ඒත් මං කලාවට දන්න තේරෙන කාලයේ සිටම ආසයි. එය මට පවුලෙන් ලැබුණ දෙයක් නොවේ. පොඩි කාලේ ඉදලම අම්මගේ සාරි ඇදගෙන හින්දි සිංදුවලට නටනවා. තනියම රඟපානවා. රංගනයට මං ආදරෙයි. ඇත්තටම මම දෙරණට ස්තූතිවන්ත වෙනවා. ජනප්‍රියත්වය මට ලැබෙන්නේ දෙව්මිගේ චරිතය හරහා. දෙව්මිගේ චරිතයයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. දෙව්මි නිසා තමයි මට ලැබුණු හැම දේම ලැබුණේ. ඒ නිසා දෙව්මිට මම හරිම ආදරෙයි.

මම අධ්‍යාපනය හදාරන්නේ ව්‍යාපාර කළමණාකරණය සම්බන්ධයෙන්. රංගනය වෘත්තීය කියනවට වඩා මම ආස ආදරේ කරන දෙයක් විදිහට හඳුන්වන්න මම කැමතියි. අනාගතයේදී වෘත්තීය විදිහට රඟපාන්න අදහසක් නෑ. ඒත් මම ආස කරන මට ගැළපෙන චරිත ලැබුණොත් මම කරනවා. කොහොම වුණත් මම ඉගෙනගන්න දෙයින් අනාගතේ දෙයක් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.