Paper Article

අද අපි ඩේ පේමන්ට් මත නිකන් දවසේ කුලීකාරයන්ගේ තත්වයට පත්වෙලා-ප්‍රවීණ නිලි අනුරාධා උදයන්ගනි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අනුරාධා උදයන්ගනි කියලා කියන්නේ. මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලොක්කි, රුකි සහ අඳුන්ගිර කියන ටෙලිනාට්‍ය තුන හරහාම අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ පාසල මීගමුවේ නිවුස්ට්ඩ් බාලිකා විද්‍යාලය. උසස් පෙළ කළේ කලා අංශයෙන්. කුඩා කල සිටිම ගුරුවරුන් කිහිපදෙනකු යටතේම නර්තන විෂය හැදෑරුවා. ඒ අතර භරත නාට්‍යයම් විෂයත් ඇතුළත්. කුඩා කල සිටම මගේ හීනය වුණේ නර්තන ශිල්පිනියක්, නර්තන ගුරුවරියක් වීමයි. අහම්බෙන් රංගන ශිල්පිනියක් වුණු මා රංගනය තුළ කාර්යබහුල වීමත් සමග නර්තන ශිල්පිනිය කියන භූමිකාව මගෙන් ගිලිහුණා. මා පවුලේ එකම දරුවා. මගේ ස්වාමිපුරුෂයා හරිත වික්‍රමආරච්චි. ඔහු මාධ්‍ය සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ වගකිව යුතු ආයතනයක වැඩ කරනවා. මගේ කලා වැඩවලට ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

2020 වසරේ විකාශය වූ සිහින ටෙලි නාට්‍යයෙන් පසුව සැලකියයුතු චරිතයක් කළ නාට්‍යයක් තමයි ලොක්කි කියන්නේ. ඇත්තටම ලොක්කිගේ අම්මට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. මෙතෙක් කල් එකම විධියේ ටෙලි නාට්‍යය බලපු රසිකයන්ට මෙය හොඳ රසාස්වාදයක් ගෙන දෙන නිර්මාණයක්. මෙහි තිරපිටපත අනෝමා විජේවර්ධන මහත්මියගේ. ඇත්තටම මෙය තිර රචනයේ සිටිම වෙනස් විධියේ කතාවක්. අනික මෙය දීර්ඝ කතාවක් නොවෙයි. බොහොම සුළු කොට ප්‍රමාණයකින් අවසන් වෙනවා.

අඳුන්ගිර ඉන්දික ධර්මතිලක මල්ලිගේ දෙවැනි ටෙලි නාට්‍යයයි. සහාය අධ්‍යක්ෂවරයකුව සිටි කල සිටම මා ඔහුව හඳුනනවා. ඔහුගේ පළමු ටෙලිනාට්‍යය ගිරිදේවි විකාශය වූ කාලේ සිටම මා ගොඩක් කැමැත්තෙන් සිටියා ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ එවැනි ටෙලි නාට්‍යයක වැඩකරන්න. එහි නිෂ්පාදිකාව මගේ සහෝදර රංගන ශිල්පිනියක් වන නුවනි වලිමුනි. ඇය තමයි චිත්‍රලතාගේ චරිතයට මට ආරාධනා කළේ. කතාවේ මැදදි තමයි මම සම්බන්ධ වෙන්නේ.

කොහොම නමුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ හොඳ චරිතවලට හරිම පෙරේත ලෝභ පිරිසක්නේ. විලච්චිය ප්‍රදේශයේ අතිශය කාෂ්ටක වියළිම ප්‍රදේශවල හේන්වල, කුඩා පැල්වල තමයි රූගත කළේ. ඇත්තටම හරිම දුෂ්කර සුන්දර අමුතු අත්දැකීමක් එය. අඳුන්ගිර ටෙලි නාට්‍යය මම මෑත කාලයේ දායක වූ නිර්මාණවලින් ගොඩක්ම කැමැත්තෙන් දායක වුණු නිර්මාණයක්.

රංගනයේදී ඕනෑම රංගන ශිල්පියකුට ලැබෙන චරිතය කුමක්ද, ඒ තුළ කළ හැකි දේ මොකක්ද, අන් රංගන ශිල්පීන් කවුද, අධ්‍යක්ෂවරයා කවුද, තිරපිටපත ලියවී ඇත්තේ කෙසේද සහ තමන්ට ලැබෙන මුදල කියන කරුණු ටික තමයි වැදගත් වෙන්නේ. එසේ නැතිව රංගන ශිල්පියකුට කොටු වීමක් කළ නොහැකියි. අද කොටස් 20ක්ද, 50ක්ද යන්න අදාළ නැහැ. නමුත් චරිතයක මුල, මැද, අග අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුයි. මා ඔය සෑම වර්ගයකටම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි දීර්ඝ වශයෙන් ඇදි ඇදී යන සමහර ටෙලි නාට්‍යය කාලයක් යන විට මිනිසුන්ට එපා වෙනවා. මම දකින්නේ එය සමහර නාළිකාවලින් කරන වැරැද්දක් විධියටයි.

එදා අපි ක්ෂේත්‍රයට ආවේ අපට තිබුණු දක්ෂතාවක් මතයි. එදා අපිට අද වගේ මාධ්‍යවලින් අනුග්‍රහයක් ලැබුණේ නැහැනේ. අද විශාල පිරිසකට රංගනය, නර්තනය, ගායනය වැනි විවිධ කලා මාධ්‍යයන් හරහා අවස්ථාව ලැබෙනවා. එයත් සමහර නාළිකාවලින් කරපු දෙයක්. ඇත්තටම මෙහි හොඳ නරක දෙපැත්තම තිබෙනවා. ගම්වල සැගවුණු දක්ෂයට මෙයින් අවස්ථාව ලැබුණා. ගායනට දක්ෂ අයව උඩින් ගෙනැවින් අතැරියා වගේ රංගන වරම් ලබා දීමක් සිදුවෙනවා. ප්‍රධාන චරිතයකට එහෙම නවකයන් යොමු කිරීම තුළ සමහර අවස්ථාවලදී මේ ක්ෂේත්‍රයට හානි සිදුවෙනවා. එහෙම අය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හරියට අඳුනන්නේ නැහැ. සහයෝගයෙන් වැඩ කරන්න දන්නේ නැහැ. රංගනය පිළිබඳ දැනීමක්, හැදෑරීමක් නැහැ. ඒ ගැන කලකිරීමක් තිබෙනවා. නමුත් දක්ෂතා බහුල අලුත් දරුවන් සිටිනවා. ඒ අතර බහුතරයකගේ විනය, හික්මීම නම් හරිම අඩුයි.

ලෝබජට් සංකල්පය මත වැඩ කිරීම තුළින් රංගන ශිල්පියාගේ වෘත්තීය වටිනාකමට හානි වෙනවා. මෙය කාලීන ප්‍රශ්නයක්. ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටයකදී වැදගත් කරුණු 2ක් තිබෙනවා. එක්කෝ අදාළ නිර්මාණය හොඳ තිරපිටපතක්, හොඳ අධ්‍යක්ෂවරයකු යටතේ හොඳ චරිතයක් විය යුතුයි. එවිට මුදල ගැන ලොකුවට නොහිනා අපේ ඉදිරි පැවැත්ම සඳහා වැඩ කළ හැකියි. චරිතය තුළ ලොකුවට දෙයක් කරන්නට නැති නම් අනිවාර්යයෙන්ම එහිදී අපිට සරිලන මූල්‍යමය වටිනාකමක් ලැබිය යුතුයි.

අපේ රංගන ශිල්පීන් පිරිසක්ම තමයි මේ තත්ත්වය ඇති කරගෙන තිබෙන්නේ. බොහෝ අයට විවිධ අවශ්‍යතා මත අඩු මුදලට වැඩ කරන්නට සිදුව තිබෙනවා. මේ ක්ෂේත්‍රයේදි රංගන ශිල්පීන් අතර මුදල් ගෙවීම යම් වර්ගීකරණයක් අනුව සිදුවනවා නම් මීට වඩා පහසු වෙයි. එහිදී දක්ෂතාව, ප්‍රවීණත්වය, මත වෙනස් විය යුතුයි. එවැනි දේ මුල සිටිම සැකසිය යුතුයි. දැන් ඉතින් මේ යන ක්‍රමයත් සමඟ එය වෙනස් කිරීම හරි අපහසුයි. මම ක්ෂේත්‍රයට ආවේ 99 වසරේදී. එකල මෙවැනි ගැටලු තිබුණේ නැහැ. අද අපි ඩේ පේමන්ට් මත නිකන් දවසේ කුලීකාරයන්ගේ තත්වයට පත් වෙලා. මම නම් ඔය ඩේලි පේමන්ට් කතාවට හරිම අකැමැතියි.