Music

මාත් කවදා හරි යොහානි වගේ ඉන්ටර්නැෂනල් ස්ටේජ් එකක සිංදු කියනවා-ද වොයිස් නිසා ජනප්‍රිය වුනු තරුෂි මලීෂා

අපේ රටේ තාරුණ්‍යයේ ඉන්න දක්ෂතා සපිරි පිරිසක් එකතු වෙන මේ දිනවල ජනප්‍රියම රියැලිටි වැඩසටහන් වලින් එකක් තමයි ද වොයිස් කියලා කියන්නේ. ඉතින් මේ ද වොයිස් හරහා මේ දිනවල ඉතාම ජනප්‍රිය දක්ෂ ගයාන ශිල්පිනියක් මෙන්ම වාදන ශිල්පිනියක් තමයි තරුෂි මලීෂා කියලා කියන්නේ. කොහොම නමුත් රියැලිටි කියන්නෙම sms මනාප මත තීරණය වන තරගයක් නිසාම මලීෂා ට වොයිස් වේදිකාවෙන් එක තැනකදී බැස යන්න වුණා. නමුත් එදා විනිශ්චය මණ්ඩලයේ සිටි සන්තුෂ් වීරමන් කිව්වේ තරුෂිට තියෙන්නේ ජාත්‍යන්තරය එක්ක හැප්පෙන්න පුළුවන් වොයිස් එකක් කියලා. එහෙම ඇගයීම් ලබපු තරුෂි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මට වොයිස් වේදිකාවේ ආපු දුර ගැන ගොඩක් සතුටුයි. මොකද මම දක්ෂතාවෙන් එන්න පුළුවන් උපරිම දුර ආවා. sms වලින් තීරණය වෙන්නේ දක්ෂතාව විතරක් නෙමෙයි එතනදී ජනප්‍රියත්වයත් බලපානවා. ඉතින් මට සතුටුයි මම දක්ෂතාවෙන් එන්න පුළුවන් උපරිම දුර ආපු නිසා.

අම්මයි තාත්තයි නිසා තමයි මම ඉස්සෙල්ලම යොමු වුණේ. අම්මා ඉස්කෝලේ යන කාලේ පියානෝව ඉගෙන ගත්තා. තාත්තා විශාරද විභාගය කරලා තිබුණා. ඉස්කෝලේ යන කාලේ කොහොමත් මගේ පවුලේ අය කලාව වෘත්තියක් විදිහට නොකළට කලාවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මමත් සංගීතයට ආදරය කළා. ඉතින් ඒක නිසා තමයි මම අදටත් මියුසික් කරගෙන යන්නේ.

ඉතින් ඒ වගේම ජාත්‍යන්තර ව්‍යාපාර හා ව්‍යාපාර උපාය මාර්ග කියන ක්ෂේත්‍රයෙන් තමයි මම වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ. ඇත්තටම මගේ බලාපොරොත්තුව වැඩිදුර අධ්‍යාපනය ලබන එක. මං මොන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගියත් සංගීතය කියන දේ මගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. වෘත්තිය සංගීතය නොවෙන්න පුළුවන් ඒත් ජීවිතයම සංගීතය තමයි.

ඇත්තටම බටහිර පැත්තට තමයි මම ගොඩක් ආස. මම ඉස්කෝලේ කාලේ ඉඳන්ම අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අනිත් එක මියුසික් ගත්තොත් ගොඩක් කළේ වෙස්ටර්න් පැත්තට යොමු වුණේ. හැබැයි මම ඕනෑම සංගීත ආරක් රසවිඳිනවා.

ඉතින් ඒ වගේම කෝචර්ස්ලා මට ගොඩක් උදව් කළා. ගායනය පැත්තෙන් විතරක් නෙමෙයි මගේ ආත්ම විශ්වාසය ගොඩනගන්නත් ඒ අය හුඟක් සහයෝගයක් දුන්නා. ඒ වගේම මගේ වේදිකාවේ ඉදිරිපත් කිරීම පිළිබඳවත් මට ලොකු දැනුමක් ලබා දුන්නා. වේදිකාවට ගියාම හිටගන්න ඕන විදිහ, හිනා වෙන්න ඕන විදිහ, අංග චලනයන් මේ හැම දෙයක් ගැනම ලොකු දැනුමක් වොයිස් වේදිකාව හරහා මට ලැබුණා. අනිත් එක අපි හිතනවා සෙලිබ්‍රිටිස්ලා ගොඩක්ම ආඩම්බරයි කියලා. ඒ වුණාට ඇත්තටම කියනවා නම් ගොඩක් කෝචර්ස්ලා අපිට යාළුවෝ වගේ. ඕන දෙයක් කතා කරන්න පුළුවන්.

මම ඕස්ට්‍රේලියාවේ පළමු ලොක්ඩවුන් එකට අහුවුණා. මට එක තැනක ඉන්න අමාරුයි. මම ඊට පස්සේ ලංකාවට ආවා. ලංකාවේ ඉන්න ගමන් ඔන්ලයින් වැඩ කරගෙන යන ගමන් හිතුණා වොයිස් එකට අයඳුම් කරන්න. වොයිස් එකට අයඳුම් කළෙත් මගෙ යාළුවෝ දෙන්නෙක් නිසා. ඒ දෙන්නා මගේ ගෙදර ආවා පුහුණුවීම් කරන්න. ඉතින් ඒ දෙන්නා මාවත් යොමු කළා වොයිස් එකට. ඒ දෙන්නා නිසා තමයි වොයිස් වැඩසටහනට මං සහභාගී වුණේ. මම සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගත්තේ Royal Institute එකේ. ඊට පස්සේ උසස් පෙළ කරන්න මම මාරු වුණා Wycherley International School එකට. එතනින් පස්සේ උසස් අධ්‍යාපනය මම රාජගිරිය Universal College Lanka හි ඉගෙන ගත්තා. දැනට මම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් යුනිවර්සිටි එකේ අධ්‍යාපනය ලබනවා.

මගේ අනාගත බලාපොරොත්තුව තමයි මියුසික් පැත්තෙන් ගත්තොත් ඉන්ටර්නැෂනල් ස්ටේජ් එකක පර්ෆෝම් කරන එක. මම ඉවත් වුණු වටයේදීත් BNSලගේ Comment එක වුණෙත් මට ජාත්‍යන්තරයට යන්න පුළුවන් කියන එක. යොහානි ගැනත් මීට අවුරුදු එක හමාරකට කලින් ඔවුන් ඒ වගේම අදහසක් කියලා තියෙනවා. ඒ දේත් ඒ අය සිහිපත් කළා. මටත් ඇත්තටම උත්තේජනයක් ලැබුණු ඒ දුන්න Comment එක නිසා. අනිත් එක මගේ උපාධියේ හැටියට මම ඉන්ටර්නැෂනල් බිස්නස් තමයි තෝර ගත්තේ. මම ගොඩක් ට්‍රැවල් කරන්න ආසයි. ඒ එක්කම මම ආසයි හොඳ ව්‍යවසායිකාවක් වෙන්න කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.