Music

තම කටහඩින් ලොවක් වසගයට ගත් යොහානි ද සිල්වා මැණිකේ මගේ හිතේ ගීතය හින්දියෙන් ගායනා කරයි

යොහානි ද සිල්වා කියලා කිවුවාම මේ වනවිට අපේ රටේ මෙන්ම ලෝකයේම නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඉතාම කෙටි කාලයකින් ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගිය ඇය ගායනා කළ මැනිකේ මගේ හිතේ ගීතය මේ වන විට ලෝකයේම ගීත දර්ශකවල ජනප්‍රියම ගීත අතරටද පැමිණ හමාරයි. ඉතින් ඒ වගේම ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමටද මේ වනවිට වාසනාව හිමි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද දොරටු විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක්ද පැවැත්වීමට පහුගිය දවසක හැකියාව ලැබුණා.

ඉතින් ඒ වගේම මැණිකේ මගේ හිතේ ගීතය නිසා ගෝලීය සංගීත දර්ශකයේ ඉහලටම ඉතා වේගයෙන් ගමන් කළ යොහානි තෑන්ක් ගෝඩ් නම් නවතම හින්දි චිත්‍රපටයකට සිය මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපතක් ගායනා කරන බව ඉන්දීය ජනමාධ්‍ය මගින් ඊයේ දිනයේදී නිල වශයෙන් නිවේදනය කළා. ඉන්ද්‍ර කුමාර් නමැති ඉන්දීය අධ්‍යක්ෂවරයාගේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිං රංගනයෙන් දායක වන බව තමයි අපටනම් දැනගන්න ලැබෙන්නේ. යොහානි මෙම චිත්‍රපටයට ගායනා කරන්නේ තනිකි බග්චි විසින් සංගීත සංයෝජනය කරන ලද මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපතකි. කොහොම නමුත් මෙම හින්දි ගීතයේ පද රචනය සිදු කරලා තියෙන්නේ රශ්මි විරාග් විසින් වේ.

ඉතින් යෝහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ජනප්‍රිය වීමත් සමඟ විශේෂයෙන් ඉන්දීය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල පරිශීලකයන් අතර ජනප්‍රිය තරුවක් බවට පත් වූ ගායිකා යොහානි සල්මන් ඛාන්ගේ බිග් බොස් 15 වැඩසටහනට පහුගිය දවසක සහභාගී වීමෙන් අනතුරුව තෑන්ක් ගෝඩ් චිත්‍රපටය සඳහා හින්දි ගීතයක් ගායනා කිරීමට ඇයට ආරාධනා ලැබී තිබෙන බව තමයි අපට වැඩිදුරටත් දැන ගැනීමට ලැබුනේ. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ භූෂාන් කුමාර්, ඉන්ද්‍ර කුමාර් සහ අශෝක් තකේරියා යන අයයි.

යොහානි මෙම ගීතය ගායනා කරන බව සනාථ කරමින් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්ද්‍ර කුමාර් පවසා ඇත්තේ යොහානිගේ ගීතය සුපිරි තලයට පැමිණ ඇති නිසා මෙම බ්ලොක්බස්ටර් ගීතය ලබා දීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වන බවයි. ගීතයේ මෙම හින්දි සංස්කරණය සඳහා සියලු දෙනාම මහත් උනන්දුවෙන් සිටින නිසා ඉක්මනින් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම යොහානි පසුගිය මාසයේ දී සිද්දත් චිත්‍රපටයේ තේමා ගීතය ගායනයට එක්වෙමින් බොලිවුඩ් සිනමාවට ද පිවිසියා. ඉතින් මේ තම කටහඩින් ලොවක් වසගයට ගත යෝහානිට අපි හදවතින්ම සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරමු.