Lifestyle

වික්ටර් ජීවත් වෙන්නෙ පැය 48යි කීවාම මගෙ මුළු ලෝකෙම කඩා වැටුණා. එයා බේරගන්න මං ඕන දෙයක් කරනවා – වික්ටර් රත්නායකගෙ බිරිඳ හෂිනි

වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ ශ්‍රී ලාන්කික ගායන ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්ත ගායන පෞරුෂයක්. 1942 පෙබරවාරි 18 වන දින උපන් ඔහු කුඩා කාලයේ සිටම සංගීතමය පරිසරයක් තුළ හැදී වැඩුනු අයෙක් වෙනවා. තනිවෙන්නට මගේ ලොවේ , අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් , මියුරු කල්පනා , සඳකැන් වැසිලා ආදී ඉතාමත්ම සුමිහිරි ගීතවල උරුමක්කාරයා වන ඔහු සැබවින්ම සංගීත ක්ෂේත්‍රයේ සිටින මහානර්ඝ වස්තුවක් වෙනවා. ඔහුගේ ආදරණීය දරුවන් ද සංගීත ලොව තුළ සිටින දක්ෂ සංගීතඥයන් වීම විශේෂත්වයක්. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා වික්ටර් රත්නායකයන්ගේ ජීවිතයේ පෙරලිකාර සන්ධිස්ථානයක් මීට අවුරුදු කිහිපයකට උඩ දී සිදුවුණා. ඒ තමයි ඔහුගේ විවාහය. ඔහු දෙවන වරට විවාහ වන්නේ ඔහුට වඩා වයසින් බොහෝ බාල යුවතියක් සමඟයි.

සම්ප්‍රදායට ඔබ්බෙන් ගිය ඔවුන්ගේ මෙම විවාහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් ආකාරයේ ප්‍රතිචාර තමයි ලබා දුන්නේ. නමුත් ඉතින් ආදරේට වයස බාධාවක් නැහැ කියලා ඔවුන් දෙපළ සනාථ කරලම පෙන්නුවා. පසුගිය කාල වකවානුව තුළදී වික්ටර් රත්නායකයන් දරුණු අසනීප තත්ත්වයකින් තමයි පෙලුනෙ. ඔහුගේ එම අසනීපයන් වලට සාත්තු කරමින් ඔහු ළඟින්ම සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ වන හෂිනියි. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී වික්ටර් රත්නායකයන් ඇය ගැන ඉතාමත්ම ආදරණීය ලෙස පවසා සිටියා. ඒ වගේම තමයි හෂිනි කියන්නෙත් තම සැමියාට ඉතාමත්ම ළෙන්ගතුව සිටින ආදරණීය බිරිඳක්. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු අසනීපයෙන් සිටි කාල වකවානුව පිළිබඳව කණගාටුවෙන් යුතුව පවසා සිටියේ මෙවන් දෙයක්.

” රෝහල් දෙකක, ලංකාවේ හොඳම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සුවිශේෂ අධීක්ෂණය යටතේ තමයි වික්ටර්ට ප්‍රතිකාර කළේ. වික්ටර් ජීවත් වෙන්නෙ පැය 48යි කීවාම මගෙ මුළු ලෝකයම කඩා වැටුණා වගේ. එදා පටන් ළඟින් හිටිය අපිව අත් නොහරියි කියා හිතපු සමහර අය අපව අතැර ගියාට අපි බලාපොරොත්තු නොවූ සමහරු අපට පුදුම විදිහට උදව් කළා. වික්ටර්ගේ ජීවිතය බේරාගන්න මගෙ වාහනය විතරක් නෙමේ සන්තකයම වුණත් අහිමි වෙන එක ගැන මම දෙවරක් හිතුවෙ නැහැ.

රෝහලේදී මාස ගණනාවක් මම වික්ටර්ගේ ළඟට වෙලාමයි හිටියේ. අපි වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපැද්දා. කටහඬත් ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් සුපුරුදු තත්ත්වයට පත් වුණා. අපි අදහන ආගමත් අපිට පිහිට වුණා. අදටත් මම ඔහු ගැන සොයන බලන එක, අත්හැරලා නැහැ. කවුරු මොන දේ කිව්වත් මමයි ඔහුයි බොහෝම සතුටින් ජීවත් වෙනවා. මොනදේ වුණත් අපිට අපි ඉන්නවා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔවුන්ගේ ජීවිතය සැමදාම මේ වගේ සතුටින් ආදරයෙන් ගත කරන්නට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.