Life Style

වයසට ගියාම රෙදි ගවුම් අඳින්න ඕනේ කියලා එකක් නෑ – අරුණි රාජපක්ෂ

අරුණි රාජපක්ෂ කියල කියන්නෙ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය සුන්දර රුවැත්තියක්. 2007 වසරේදී විශ්ව රූ රැජන සඳහා වූ තරඟයේ කිරුළ දැරීමත් සමග ඇය කොයි කාගෙත් ආදරයට පාත්‍ර වුණා. අද වන විට නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ඇය පුංචි දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වනවා. විලාසිතා වලට වැඩි ඇල්මක් දක්වන ඇය පසුගිය දා එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ මේ වගේ දෙයක්.

“ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම මම විලාසිතා කරන්න කැමතියි. පෙර පාසල් යන කාලේ ඇඳුමට ගැලපෙන්න සෙරෙප්පු දාන්න කියලා මම අඬනවලු. ඒ වගේම අම්මට හයියෙන් සින්දු දාන්න කියලා අඩි උස සපත්තු දෙකක් දාගෙන මම කැට් වෝක් කරනවලු. ඉතිං ඒ වගේ සුන්දර මතක ඒ කාලේ තිබුණා. ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම ලස්සනයි කියන වචනය මට නිතරම ඇහුණා. නමුත් ඔබ විශ්වාස කරයිද දන්නෑ මම ලස්සනයි කියලා ඇත්තටම මට දැනෙන්න පටන් ගත්තේ මගේ දියණියන් දෙදෙනා ලැබුණාට පස්සේ එයාලා දෙන්නා ම දකින හැමෝම කියන්නේ “ අම්මා වගේම හරිම ලස්සනයි” කියලා . ඇත්තට ඒ දෙන්නගේ දිහා බලාගෙන මම වෙලාවකට කල්පනා කරනවා ඇත්තටම මම මෙච්චර ලස්සනද කියලා. මට හිතෙන්නේ මම මාව මගේ දියණියන් දෙදෙනාගෙන් දකිනවා කියලා.

මම හරිම ආසයි මම වගේම මගේ මහත්තයයි දරුවො දෙන්නයි ගැලපෙන විදිහට අදිනවාට. එහෙම අදින්නේ නැති වෙලාවල් වලට යන්න තියෙන ගමනට කොච්චර පරක්කු වුණත් මම කියන්නේ වෙලාව ගියාට කමක් නෑ ගැලපෙන විදියට ඇඳගෙන යන්න කියලා. ඒ වගේ වෙලාවට එයා මට විහිළු කරනවා ෆැෂන් පොලිසියෙන් ඇවිත් වගේ කියලා. මං කොහොමත් විලාසිතා කරන්න වයස් භේදය හිතෙන කෙනෙක් නෙවෙයි. වයසට ගියාම රෙදි හැට්ට ඇඳන්, සාරි,ඔසරි ඇදන් ඉන්න ඕනේ කියලා එකක් නැහැ. අපි අපිට ගැලපෙන විදියට විලාසිතා කළ යුතුයි.”

මේ විදිහට තමයි ඇය අදහස් දක්වලා තිබුණේ. ඉතිං ඇයගේ සියලුම වැඩ කටයුතු ඇය සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.