Life Story

“ජනතාවට ඕන විදිහට තමයි මම රඟපෑවේ” කලකට පෙර විජය කුමාරතුංගයන් කී අපූරු කතාව

විජය කුමාරතුංගයන් කියන්නේ සිංහල සිනමාව තුළ අද්විතීය පෙරලියක් සිදුකල කාගේත් ආදරය සහ ගෞරවය දිනාගත් රංගන ශිල්පියෙක් වගේම දේශපාලන පීඨිකාවේ ක්‍රියාකාරී චරිතයක් වනවා.ඔහු දේශපාලනය තුළ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටීම හේතුවෙන් ම ඔහුට බොහෝ දෙනා ආමන්ත්‍රණය කළේ ජනහිතකාමී විජය නමින්.දේශපාලනයේ දී පමණක් නොව රංගන ක්ෂේත්‍රය ඔස්සේත් ඉතාමත්ම නිරහංකාර නිහතමානී චරිතයක් වූ විජය කුමාරතුංගයන් සිනමාවේ සිහින කුමරා ලෙසින් නිරන්තරෙන් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වුණා.අදටත් ඔහු රඟ දක්වන සිනමා පටයන් තුළ ඔහුගේ කඩවසම් පෙනුමටත් කතා විලාශය ටත් පෙම් බඳින රසිකාවියන් නැතුවාම නොවේ.

රංගනයත් දේශපාලනයත් අතර තුරම ගායන ක්ෂේත්‍රය ඔස්සේ සිය අද්විතීය කුසලතාව ගෙනහැර දැක්මට ඔහු තුළ වූයේ සුවිශේෂී හැකියාවක්.ඔහු විසින් ගායනා කරන ලද බොහෝ ගීත අදටත් නොනැසී පවතින්නේ ඒ ගීතයන් තුළ ගැබ්ව තිබූ මිහිරි බවත් අර්ථාන්විත බවත් නිසාමයි. ගඟ අද්දර මා, කවුළුව අතරින් පත්,වේදනා, දිනකර පායා,සීත රැයේ දී, මංගල නැකත” ආදී ගීතයන් තවමත් නොමැකෙන මතකයන් අතරට එකතු වී හමාරයි.ඔහුගේ ගීත කෞශල්‍ය කෙසේදැයි කියනවා නම් ඔහු දෙවතාවක්ම සරසවි සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායකයාට තේරී පත් වීමම කදිම උදාහරණයක්.

සරසවිය පුවත්පතෙහි පළ තිබූ දැන්වීමක් දැක එහි සම්මුඛ සාකච්ඡාවට තේරී ප්‍රථමයෙන්ම ඔහු සිනමාවට පිවිසියා.එහිදී මනමාලයෝ නම් චිත්‍රපටය සමූහ රංගනයට දායක වී ඉන්පසුව ප්‍රධාන චරිතය දක්වාම ඔහුගේ කුසලතාවය පෙන්වීමට ඔහුට සිනමාව ඔස්සේ අවස්ථාව උදා වුණා.මේ වන විට මුළු රටම සංවේගයට පත් කරමින් ඔහු අප අතරෙන් නික්ම ගොස් අවසන්.ඔහු ජීවතුන් අතර සිටියදී එක්තරා උත්සව අවස්ථාවකට සහභාගි වූ මොහොතකදී හරි අපූරු කතාබහක් සිදු කොට තිබුණා.එහිදී ඔහු දක්වා තිබුණේ මේ වගේ අදහස් ගොණ්නක්.

“අවංකවම මම ජනතාවට ඕනේ විදිහට ජනතාවට අවශ්‍ය කරන විදිහට මගේ රඟපෑම කරගෙන ගිහින් තියෙනවා.ඒ ගැන මට තියෙන්නේ ලොකු තෘප්තියක්.මම හිතෙන විදියට තාමත් වෙනස් වෙන්නෙ නැතිව එකලෙසම ජනතාව මට ආදරය කරන්නේ ඒ නිසා කියලා මම විශ්වාස කරනවා.ඒ වගේම මට ඒක ලොකු සතුටක්”

යනුවෙන් තමයි ඔහු එම සාකච්ඡාවේදී පවසා සිටියේ.ඉතින් රටක් හඬවා අප අතරින් සදහටම වියෝ වුනු ආදරණීය රංගධරයාණන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.