Life Story

විජය සිටියානම් අදට අවුරුදු 77ක්. අපි මේ ජීවිතේ ලබාගත් ලොකුම වස්තුව අපේ දරු පැටව් දෙන්නා

විජය කුමාරතුංග කියන කියන්නේ ශ්‍රී ලාංකීය සිංහල සිනමාව අතික්‍රමණය කළ අපූරු ආදරණීය රංගන ශිල්පියෙක්. සිනමාවේ සිහින කුමරා ලෙසින් කාගේත් ආදරය දිනාගත් ඔහු සිංහල චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිතයට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. එවකට සරසවිය පුවත්පතෙහි තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට එයින් සමත් වූ ඔහු ඉන්පසුව තමයි සිනමාවට අවතීර්ණ වන්නේ. සුගතපාල සෙනරත් යාපා මහත්මාගේ හන්තානේ කතාව සිනමාපටය ඔස්සේ කලා ලොවේ දිගු දුරක් යෑමට පියවර තැබූ ඔහු කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන් වන මාලනී ෆොන්සේකා , ජීවන් කුමාරතුංග , ගාමිණී ෆොන්සේකා වැනි රංගධරයන් සමඟ එකට එක් වී සිය රංගන කටයුතු සිදු කරනු ලැබුවා.

රංගන ශිල්පියෙක් ලෙස පමණක් නොව ගායන ශිල්පියෙක් ලෙසත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් හඳුන්වා දිය හැකි මේ අපූරු කලාකරුවා විවාහ වන්නේ හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟයි. ඉතාම ආදරණීය විදිහට සිය පවුල් ජීවිතය ගත කළ ඔවුන් දෙපළට යශෝධරා කුමාරණතුංග සහ විමුක්ති කුමාරණතුංග නමින් ආදරණීය දරුවන් දෙපලක් සිටිනවා. රංගන දිවියත් දේශපාලන දිවියත් පවුල් ජීවිතයත් සමබර ලෙස ගෙන ගිය ඔහු ඉතාමත් අවාසනාවන්ත ලෙස 1988 පෙබරවාරි 16 වන දින අප අතරින් සදහටම සමු ගන්නේ මුළු ශ්‍රී ලාංකිකයන් ම හඬවමින්.

විජය කුමාරතුංගයන් උපත ලබන්නේ 1945 ඔක්තෝම්බර් 8 වන දිනයි. ඉතින් පසුගිය දිනක දී ඔහුගේ 77 වන ජන්ම දිනය යෙදී තිබුණ අතර ඔහුගේ ආදරණීය බිරිඳ වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙලෙස සටහනක් සනිටුහන් කරලා තිබුණා.

” විජය ජීවත් ව සිටියානම් අදට අවුරුදු 77ක්. අපි දෙන්නා මේ ජීවිතේ ලබා ගත්ත ලොකුම වස්තුව, ලොකුම බලය, ලොකුම සතුට අපේ දරු පැටව් දෙන්නා. ඒ අපිට හොඳට ම ඇති. උන් දෙන්නත් එක්ක අපි මේ ජීවිතේ ජීවත් වන තුරා මේ ලෝකෙ කිසි කෙනෙකුට වරදක්, කරදරයක් නොකර සතුටින් ඉමු. මගේ පැතුම එච්චරයි.” – විජය (චන්ද්‍රිකා කෘතියේ 82 වන පිට) “ ඉතින් අප අතරින් සදහටම සමුගත් ආදරණීය කලාකරුවාණනි ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා.