Life Story

මගෙන් කවදාවත් ජයලලිතා කෙනෙක් බලාගන්න බැරි වෙයි

සබීතා පෙරේරා කියන්නේ රිදී තිරයේ නොමැකෙන සලකුණක් තබා තිබෙන රංගනයෙන් මෙන්ම නර්තනයෙන් ද එකසේ දස්කම් පාන කිසිදා වයසට නොයන ප්‍රවීණ සහ දක්ෂ කලා ශිල්පිනියක්.80 90 දශක වල ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ නැතිවම බැරි චරිතයක් වූ ඇය රංගනයට පිවිසෙන්නේ ළදරු අවධියේදිමයි.සිය දෙමව්පියන්ගේ ආභාෂය ඒ ආකාරයෙන්ම ඇයට හිමි වූ නිසා ඇය කලා ක්ෂේත්‍රයේ මේ වන විට නොමැකෙන නමක් දිනාගෙන සිටියි.ඇය රංගනයෙන් දායක වූයේ විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සනත් ගුණතිලක , මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ආදී සිනමාවේ දැවැන්තයන් සමගින් වීම ඈ ලද භාග්‍යයක්.

ඉතින් අද ඇය පිළිබඳව කතා කරන්නට සිතුවේ ඇය මෑතකදී නැරඹූ ඉතා විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් පිළිබඳව ඇය දැක්වූ විග්‍රහයක් හේතුවෙනි.ඒ තමයි මේ වසරේදී එළිදැක්වූ තෙලෙවි නම් දමිල චිත්‍රපටය.මෙම චිත්‍රපටය දමිල හින්දි සහ තෙළිඟු යන භාෂා භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කර ඇති අතර තෙලෙවි යන නමෙහි අර්ථය වන්නේ නායකාව යන්නයි.ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ දේශපාලන නායකයාවක් ලෙස ප්‍රචලිත ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වුණු මෙම නිර්මාණයේ කන්ගනා රනාවුන් විසින් ජයලලිතාගේ චරිතය නිරූපණය කරනවා.ඉතින් ඇය මෙම චිත්‍රපටය පිළිබඳව ඇගේ අදහස් දැක්වූයේ මේ අයුරින්.

“ඇත්තටම තෙලෙවි කියන්නේ මෑත කාලීනව බිහි වුන විශිෂ්ට ගණයේ නිර්මාණයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඒ එල් විජය කියන අධ්‍යක්ෂක වරයා විසින්.ජයලලිතාගේ සිනමා ජීවිතය ගැන තමයි වැඩිපුරම මෙහි නිරූපණය කරලා තියෙන්නේ.ඉතිං මමත් සිනමා රංගන ශිල්පිනියක් නිසා ඒ දේවල් මටත් හරි හුරුපුරුදුයි.චිත්‍රාගාර වල රූගත කිරීම්,ජයලලිතා සහ එම් ජී ආර් ගේ සබඳතාව ගොඩනැගෙන හැටි ඇය දේශපාලනයට යන හැටි විශේෂයෙන් දකුණු ඉන්දියාවේ දේශපාලනය ගැන පුදුම ලස්සනට හරිම සිනමාත්මකව අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය තුළින් කතා කරනවා.

ඒ වගේම තමයි ඇයගේ ජීවිත කතාව නිරූපණය කිරීමට ගැලපෙනම රංගන ශිල්පිනියක් තමයි අධ්‍යක්ෂකවරයා තෝරගෙන තියෙන්නේ.ඒ තමයි කංගනා රනාවුන්.මම එයාගෙ චිත්‍රපට ගොඩක් බලලා තියනවා ඇය හරිම තාත්ත්විකව රංගනයෙන් දායක වනවා.සැබෑ ජීවිතයේ ඇති චරිතයක් ප්‍රතිනිර්මාණය කරන එක ඇත්තටම හරිම අසීරු කාර්යයක්.මොකද අපේ හැම දෙයක්ම ඒ වෙනුවෙන් නිර්මාණය කරගන්න ඕන.කන්ගනා ඒකට උපරිම සාධාරණයක් ඉටුකරනවා.

මෙරට දේශපාලන චරිතයක් නිරූපණයට අවස්ථාවක් ලැබුණොත් මම කැමතියි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ චරිතය නිරූපණය කරන්න.ඒ වගේම තමයි මම දේශපාලනයට එන්න කිසිම කැමැත්තක් නැහැ.ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන ඉස්සර ඉඳලම මට පැහැදීමක් නැහැ.ඉතින් කවදාවත් සභීතගෙන් ජයලලිතා කෙනෙක් බලාගන්න බැරි වෙයි.” කියලා තමයි ඇය පවසා සිටියේ.ඉතින් ශ්‍රී ලාංකීය සිනමාවට මහගු මෙහෙවරක් සිදු කළ මෙම අසහාය රංගන ශිල්පිනියගේ සියලුම පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.