Life Story

ජැක්සන් ඊයේත් මා එක්ක හිනාවුණා මම යන්නම් කිව්වහම කට යන්තමින් සොලවලා එපා කියනවා වගේ පෙනුණා

මීට මාස කිහිපයකට පෙර සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවම කම්පනයට පත් කළ සිදුවීමක් තමයි ජැක්සන් ඇන්තනී මහත්මා ගමන් ගත් වාහනයේ වල් අලියෙක් ගැටීම හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු තත්ත්වය. එම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයට දැඩි හානියක් සිදුවීම හේතුවෙන් අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ඔහුව මාරු කරනු ලැබුවා. තවමත් ඔහු රෝහල් සයනයකට වී කාලය ගත කරන අතර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව දිනෙන් දිනම නොයෙක් ආකාරයේ පුවත් මැවුනා. එහිදී පසුගිය දවස්වල කාගේත් අවධානයට ලක්වුණු පුවතක් තමයි ජැක්සන් මහතා හුස්ම ගැනීමේ යන්ත්‍රයකට සම්බන්ධ කර එහි දී වෙනසක් සිදු නොවුවහොත් ඔහුගේ තත්ත්වය තීරණාත්මක වන බවයි. ඉතින් ඒ ගැන සත්‍යම තොරතුරු ඔහුගේ ආදරණීය බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය පසුගියදා එක්වූ එක්තරා මාධ්‍ය වැඩසටහනකදී කියා සිටියේ මේ විදිහට.

” ඔය කතා අමූලික බොරු. කිසිම වෛද්‍යවරයෙක් අපි එක්ක ඔය වගේ දේවල් කතා කරලා නැහැ. ජැක්සන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු වගේම ඒ කාර්ය මණ්ඩලය තවමත් තමන්ට හැකි උපරිම ආකාරයට ප්‍රතිකාර ලබාදීලා දායකත්වය සපයා උත්සාහ ගන්නේ ඔහු නැඟිටවන්නයි. ඇත්තම කිව්වොත් මේ සියලු වෛද්‍යවරු වගේම ඒ කාර්ය මණ්ඩලය දන්නවා ජැක්සන් ඇන්තනි කියන කලාකරුවාගේ වටිනාකම මොකක්ද කියලා. ඔවුන් ජැක්සන්ට හරිම ආදරෙයි. අපිට ඔවුනගේ කතාබහෙන් ඒක තේරෙනවා. ඔවුන් ජැක්සන්ට ගෞරව කරනවා. ඒක මට වඩා හොඳට වෙන කවුද දන්නේ?

අනික මේ වෙද්දි ජැක්සන්ගේ තත්ත්වය හොඳ අතට හැරීගෙනයි එන්නේ. ඉතින් එහෙම වෙලාවක මැෂින් ගලවන්න තීරණය කළා කියන්නේ මොන වගේ පහත් හැඟීමකින්ද. මේ වගේ වැරැදි දේවල් ප්‍රචාරය කරන්න එපා. අපි ගැන හිතන්න. අපි මේවා දැක්කහම කොයි තරම් මානසිකව ඇද වැටෙනවාද කියලා හිතන්න ඕනෑ. මට ඇහුණා කවුදෝ ගෑනු ළමයෙක් ඔය අසත්‍ය ප්‍රවෘත්තිය රස කර කර කියනවා. ඒ වෙබ් සයිට් එක කරන ඒ ගෑනු ළමයා හිතන්න ඕනෑ තමන්ගේ තාත්තාට තමන්ගේ සහෝදරයෙක්ට මෙහෙම දෙයක් වුණාම ඇතිවන වේදනාව මොකක්ද කියලා. ඇත්තම කියනවා නම් මම දැන් සෝෂල් මීඩියා බලන්නෙම නැති තරම්. මොකද හිත රිදෙනවා. කලකිරෙනවා.

මේ වෙලාවේ මම කියන්නේ මෙච්චරයි. ජැක්සන් හොඳට ඉන්නවා. ඊයේත් මා එක්ක හිනාවුණා. මම යන්නම් කිව්වහම කට යන්තමින් සොලවලා එපා කියනවා වගේ පෙනුණා. ඉතින් මම තරම් ඒවා හොඳට දන්නේ වෙන කවුද? ඇත්තටම මම මේ වෙලාවේ ඔය හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ වැරැදි ප්‍රවෘත්ති සමාජගත කරන්න එපා කියලයි. අපි අන්තර්ජාලය ඔස්සේ හුඟාක් හොඳ දේවල් ඉගෙන ගන්නවා. දැන ගන්නවා. ඒ ඇත්තට අපි ගරු කරනවා. නමුත් ඒ අතර ඉන්නවා තමන්ගේ චැනල් එක එහෙමත් නැත්නම් වෙබ් සයිට් එක ජනප්‍රිය කරවා ගන්න මොනවා හරි බොරු බේගල් පතුරවන අය. අනේ අපිට එහෙම කරන්න එපා. විශේෂයෙන්ම ජැක්සන් අයියට එහෙම කරන්න එපා.”

ඉතිං අපි කවුරුත් ආදරය කරන අපේ ආදරණීය රංගධරයා ට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.