Life Story

මගෙ සීමා නිසාම හොඳ නිර්මාණ මට මග ඇරුනා – හිමාලි සිරිවර්ධන

හිමාලි සිරිවර්ධන කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අපි කවුරුත් දන්න ආදරණීය කලා ශිල්පිනියක්.ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වනවා.ඇය ඇයගේම නර්තන කණ්ඩායමක් නිර්මාණය කර ප්‍රසංගාත්මක වැඩ කටයුතු වල නියැලෙන අතර ම පසුගිය දවස්වල අපට ඇයව හිරු super dancer රියැලිටි වැඩසටහන ඔස්සේ දැකගන්නට පුළුවන් වුණා.ඒ වගේම තමයි අපට ඇයව පුංචි තිරේ ටෙලි නාට්‍යය තුළ දී මෙන්ම සිනමාව තුළ දී ද දක්නට පුළුවන්.ඉතිං අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳවයි.ඇය ඇගේ කතාවට මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“මේ දවස් වල නම් පුතාගේ වැඩ කටයුතු කරගෙන නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා.දැනට මාස හයකට පෙර hiru හිරු සුපර් ඩාන්සර් program එකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසාත් මගේ teledramas දෙකක රූගත කිරීම් කටයුතු සිදු කළ නිසාත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ.මම මේ කලා ක්ෂේත්‍රයට ආවේ වෘත්තීයමය නර්තන ශිල්පිනියක් විදිහට.මගේ නර්තන කණ්ඩායම පවත්වාගෙන යන අතර තුර මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි මම රංගනයට සම්බන්ධ වුණේ.ඇත්තටම මගේ නර්තන හැකියාවෙන් හොඳ සිනමා පට වලට සම්බන්ධ වෙන්න මම දැඩි ආසාවකින් හිටියේ.ගොඩක් දුරට මං සම්බන්ධ වුණේ කමර්ෂල් චිත්‍රපටි වල.ඉතින් ඒ නිසා මගේ නර්තන හැකියාව උපරිමයෙන්ම මට චිත්‍රපට ඔස්සේ පෙන්නුම් කරන්න බැරි වුණා.

මම රංගන ක්ෂේත්‍රය තුළ ඉදිරියේදී දායක වෙන්නේ මට යමක් කළ හැකි සහ මගෙ දක්ෂතා හොදින් පෙන්විය හැකි හොඳ නිර්මාණවලට විතරයි.නමුත් මේ දිනවල එවැනි විශිෂ්ට ගණයේ නිර්මාණ බිහිවීමේ අඩුවක් පවතිනවා.ඉතින් ඒ නිසා ආරාධනා ලැබෙන්නෙත් අඩුවෙන්.ඉතින් හොඳ වැඩක් නම් දීර්ඝ ගණයට අයත් වුවත් මම ඒ නිර්මාණය බාරගන්නවා.හැබැයි ඉතින් මේ ක්ෂේත්‍රයේ දැන් යන විදිහත් එක්ක යම් යම් තැන්වලදී කලකිරීම් ඇතිවන ඇති වුණු අවස්ථාත් නැතුවම නොවේ.

මම ඇත්තටම වාරණයන්ට යටත්ව තමයි නිර්මාණවලට දායක වෙන්නේ.මොකද මගේ යම්කිසි සීමාවක් තියෙනවා.මගේ ඒ සීමා නිසාම හොඳ අධ්‍යක්ෂකවරුන්ගේ විශිෂ්ට ගණයේ නිර්මාණ මගහැරුණු අවස්ථා තියෙනවා.මොකද මම පිටපතට අදාළව අසැබි දර්ශන වලට පෙනී සිටියොත් මට මගේ පවුලට අන් අයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් නැහැ.ඇත්තටම මම ඒ දේට කැමතිත් නැහැ.මොකද මම මේ ක්ෂේත්‍රය තුළ මගේ ආත්ම ගරුත්වය හොඳ නම තියාගෙන හැමදාම වැඩ කරගෙන යනවා.මම ඒවගේ චරිත කරන අයට දොස් කියන්නේ නැහැ.මොකද චරිතයක් නිරූපණය කරන විට තිර පිටපතට අදාළව ඒ දේවල් රඟ දක්වන්න ඕන.නමුත් පෞද්ගලිකව මම ඒ දේවල් වලට කැමති නැහැ.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලු ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා.