Life Story

සින්දු කියන්න බැරිවුණ දවසට ආයෙත් වඩු වැඩ පටන් ගන්නවා

අසංක ප්‍රියමන්ත පීරිස් කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ ගායන ශිල්පියෙක්.ඒ වගේම තමයි ඔහුගේ ගීත වල ඇති ඔහුටම ආවේණික ආරය නිසා බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා එක් රොක් වී සිටිනවා.සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ , මගෙ දරු පැටවු අහසට, හුදකලා විරාමයෙදි හමුවෙමුද ටිකක් ආදී ගීත අදටත් රසික රසිකාවියන් ඉතාමත්ම ඕනෑකමකින් සහ කැමැත්තකින් රසවිඳින ගීතයන් වනවා. ඉතින් පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා යූටියුබ් නාලිකාවක දී ඔබ අප කවුරුත් නොදන්නා ඔහුගේ ජීවිතයේ බොහෝ තැන් රසිකයා සමඟ බෙදා හදාගත්තා.ඉතින් අද අපි ඔහුගේ ජීවිතයේ කවුරුත් නොදත් පැතිකඩ පිළිබඳව කතාබහ කරන්න සිතුවා.ඉතින් ඔහුගේ කතාවට ඔහු මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“අපේ ගම මොරටු මුල්ල.ඉතින් මේ ප්‍රදේශය ගොඩක්ම ප්‍රසිද්ධ ලී කැටයම් සඳහා.මගේ තාත්තා දක්ෂ වඩුවෙක්.මට මතකයි ඒ දවස් වල ඉස්කෝලේ යන කාලේ තාත්තාගේ අත් උදව්වට ගිහිල්ලා මමත් ලී කැටයම් ශිල්පය ඉගෙන ගන්නවා.කාලයත් සමඟ අපිට වඩු වැඩ අතාරින්න සිදුවුණා.හැබැයි දැන් වුණත් කවුරුහරි හිතවතෙක් අපිට කියලා වඩු වැඩක් කරගන්න වුවමනාවක් තිබුණොතින් අනිවාර්යෙන් ම ඒක කරලා දෙනවා.

අපි මුලින්ම හිටියෙ කුලී ගේක.ඊට පස්සේ තමයි මහ ගෙදරට ආවේ.කුලී ගෙදර ඉඩකඩ මදි ඒකයි මහ ගෙදරට එන්න උනේ.මෙහෙ ඉන්නේ මගේ අම්මයි තාත්තයි බිරිදයි දරුවො දෙන්නයි.මගෙ ලොකු දුව විවාහ වෙලා මේ වන විට අතුරුගිරියේ පදිංචි වෙලා ඉන්නේ.එයා දැන් විවාහ වෙලා අවුරුදු තුනක් විතර වෙනවා.ලඟදීම මම සීයා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.එදා වගේම අදත් ඒ විදිහටම ඉන්නේ අපේ හිතේ කහටක් නැති නිසා.අපි හරි සරලව සුන්දරව ජීවිතය ගෙනියන මිනිස්සු.

මම පාසල් තුනක අධ්‍යාපනය ලබලා තියෙනවා.පාසල් යන අවදියේ ම තමයි ගීත ගායනයට යොමු වෙන්නේ.ඉස්කෝලේ යන කාලේ අපි තරග වලට යොමු වෙලා ඒවායින් ජයග්‍රහණය සහ ගෞරවය පාසලට ගේනවා.අපේ ගෙදරින් තාත්තට යම්තාක් දුරකට ගීත ගායන හැකියාව පිහිටලා තිබුනා.මං හිතන්නේ එයාට නැති හැකියාව වෙන්නැති මට පිහිටන්න ඇත්තේ.

මුලින්ම මගේ ගීත හතරක් තමයි ජනප්‍රිය වෙන්නේ.මම මුලින්ම ඉදිරිපත් කරන ඒ සරල ගීත හතර තමයි හිරු විකසිත වී ,ලැබුනත් නෙත් යුග දහසක ,සසර පුරුද්දක් ,මා පුතුනේ යන ගීත තමයි මුලින්ම සරල ගීත සඳහා ඉදිරිපත් කරන්නෙ.එතනින් පස්සේ තමයි හිරු විකසිත වී කියන ගීත පටිය නිකුත් වෙන්නේ.මොරටුව කියන ප්‍රදේශය වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නේ වේග රිද්ම ගීතයන් සහ බයිලා ආරයේ ගීත වලට.නමුත් මගේ බොහොමයක් ගීත ලයාන්විතව සරල ආරයකින් තමයි ගායනා කරන්නේ.ඒකට හේතුව වුණේ මට වුවමනා කළේ ඒ වේග රිද්ම ගායනයට නොයා මගේ දරුවෝ ගැන අම්මා තාත්තා ගැන ස්වභා දහම ගැන ගීත ගායනා කරන්න.

ඇත්තටම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මම ගායනා කරන ලද ගීත මමම කියලා ලියව ගත්ත ඒවා ද කියලා.නමුත් ඇත්තටම එහෙම නෑ.අසංක ප්‍රියමන්ත පීරිස් ට ගීතයක් ලියනවා කිව්වම ගීත රචකයෝ මං ගැන මවාගෙන තමයි ඒ ගීත රචනා කරන්නෙ.ඉතිං ඒවා මට සෙට් වෙනවා.මම ගායනා කරන්නේ කාලීන දේවල් ගැන.මං ගායනා කරපු මගේ දරු පැටවු ගීතය ලංකාවේ සිටින ලොකු කුඩා සෑම වයස් මට්ටමක ම මිනිස්සු අතර සෑහෙන්න ප්‍රසිද්ධ වුණා.ඔය ගීතය අහල සමහර මිනිස්සු රට ගියේ නෑ.ඒක මං හොඳාකාරවම දන්නවා.මොකද රට ගියොත් ඒ සින්දුවේ කියවෙන ප්‍රශ්නයට එයාලට මුහුණ දෙන්න වෙනවා කියලා ඒ ගොල්ලෝ දන්නවා.ඉතින් ඒගොල්ලො ළමයිව ගෙවල් වල තියාගෙන දුක් විඳගෙන හරි රැක ගත්තා ඒ ගීතය අහල.

ඒ ගීතය ගොඩක් ඔබින්නේ පිටරටවල් වල ගියපු අයට නේ.ඉතින් අපි ඩුබායි,කුවේට් වගේ රටවල් වලට යනවා ප්‍රසංග වලට.මට මතකයි එක පාරක් එක වේදිකාවක් තුළ ඔය ගීතය විතරක් මං පස් හය පාරක් ගායනා කළා.මොකද ඒ ගීතයම රසික රසිකාවියන් මගෙන් ඉල්ලනවා.

මගේ හැම දේකදිම මගේ අම්මා තාත්තා වගේම මගේ බිරිඳත් සිටිනවා.එයාගෙ ගම බණ්ඩාරගම ගෝනදූව කියන ප්‍රදේශයේ.මට එයාව මුණගැහෙන්නේ මම කලායතනයට යන කාලෙදි.මට යෝජනාවක් තමයි එන්නේ මෙහෙම කෙනෙක් ඉන්නවා කැමති වෙනවද කියල.පස්සෙ මම ගිහින් බැලුවට පස්සේ මම එයාට කැමති වෙනවා.අවුරුදු 2 ක් මම ආදරේ කලා.ඊට පස්සේ තමයි විවාහ වෙන්නේ.ඇත්තටම එයා හරිම සුන්දර බිරිඳක්.මගේ හැම දෙයක්ම වගේම දරුවන්ගේ හැම දෙයක්ම එයා හරියාකාරව බලනවා.ගෙදර දොරේ වැඩ පවා එදා තමයි කරන්නේ.මම වැඩ කාරයෙක් ගන්න කිව්වත් එයා ඒකට කැමැති නෑ එයාගේ අතින්ම තමයි හැමදේම කරන්නේ.එයාට ගීත ගායනා කරන්න නම් ටිකක් අමාරුයි.ඒ නිසා අපි දෙන්නත් එක්ක සින්දු කියන්නෙ නෑ.මොකද එයා දන්නවා එයාට ගීත ගායනා කරන්න බෑ කියලා.හැබැයි එයාට ගීත පිළිබඳව හොඳ රහක් තියෙනවා.සමහර වෙලාවල් වල දී මම එයාට මගේ ගීත දාලා පෙන්නනවා.එතකොට එයා සමහර තැන් වල අඩුපාඩුත් හදලා තියෙනවා. මට ඉන්නේ හරිම හිතෛෂී ආදරණීය බිරිඳක්.

ඇත්තටම ඉස්කෝලේ යන කාලේ මම වැඩිපුරම ආස කලේ මියුසික් වලට.ඒ දවස්වල සංගීතය කියන දේ මම ඇඟටම අරන් හිටියේ.පීරියඩ් කට් කරල music රූම් එකට වෙලා ඉන්නවා.මට මතකයි දවසක් ප්‍රින්සිපල් මට උදේ රැස්වීමකදී කිව්වා අසංක පුතා මං ඔයාට ෆ්‍රී පීරියඩ් එකක් ම දෙනවා music ඉගෙන ගන්න කියලා.ඉතින් ඇත්තටම මම අද මේ තත්ත්වෙන් ඉන්නේ සංගීතය නිසා.ඒ නිසා හරි වටිනවා ඉතින් music සයිඩ් එක මට. ඉස්කෝලේ යන කාලේ මම වැඩිපුරම දඬුවම් විඳලා තියෙන්නේ සින්දු කිය කිය ඩෙක්ස් එකට තට්ටු කරල.ඒ දවස් වල වැඩිපුර ම ගායනා කළේ පණ්ඩිත් අමරදේව මහත්මයාගේ ගීත.

මම ඒ දවස් වල ප්‍රසංග වේදිකා වලත් ගායනා කළේ පණ්ඩිත් අමරදේව මහත්තයාගේ ගීත.හැබැයි මගේ ගීත ආවට පස්සෙ මම අමරදේව මහත්තයාගේ ගීත ගායනා කරන එක නතර කළා.මට ගොඩක් ආරාධනා ආවා අමරදේව මහත්තයාගේ ගීත ගායනා කරන්නේ කියලා.නමුත් මම හිතුවා මම ගායකයෙක් වෙන්න ඕනි නම් මම ඉස්සරහට යන්න ඕනේ මගේම ගීතවලින් කියලා.1990 දශකය තමයි අපේ ගීත වල හොඳම කාලය.මට මතකයි මම එක අප්‍රේල් මාසෙක එක දවසට ෂෝ 10 ක ගීත ගායනා කලා.කොළඹ අවට තමයි ඒ ප්‍රසංග තිබුණේ.ඒ කාලෙ දැන් වගේ නෙවෙයි.ඕන තරම් වෙලා ප්‍රසංග පවත්වන්න පුළුවන්.පාන්දර දෙක තුන වෙනකන් ගීත ගායනා කරනවා.

ඇත්තටම ඒ කාලෙ ප්‍රසංග වේදිකාව තුළ සියලුම දෙනා මගේ යාලුවෝ.ඒ දවස්වල චන්දන එනවා අපේ ගෙදර.මගේ වාහනේ තමයි දෙන්නත් එක්ක යන්නේ.ඊට පස්සෙ පාන්දර show ඉවර උනාම මං එයාව කොහේ හරි ස්ටේෂන් එකක ඔහුව බස්වල යනවා.ඒ වගේම තමයි මේ වෙලාවේ මං හරිම ඕනෑකමෙන් මතක් කරන්න ඕනේ සතිෂ් පෙරේරාව.ඇත්තටම ඔහු මට හිටපු හොඳ යාළුවෙක් වගේම හිතවතෙක්.දැන් මේ ලෝකෙ එයා නෑ.ඒ දවස් වල ප්‍රසංග වේදිකා වලට යනකොට එයා එනකම් මං ඉන්නවා.මං එනකං එයා ඉන්නවා.ඒ වගේ හරි අපූරු බැඳීමක් තිබුණා.ඒ වගේම හරිම හිත හොඳ මනුස්සයෙක් එයා.

ඒ කාලේ අපිට රසික රසිකාවියන්ගෙන් තිබුනෙ පුදුම පිළිගැනීමක්.ඒ දවස් වල අපේ ගීත වල කෑලි කොළ වල ලියලා දෙනවා.ඒ වගේම ප්‍රේම ආරාධනා ගොඩක් ආවා.ඒත් වැඩක් වුණේ නෑ.හැබැයි ඒ අතුරින් පෙම් කරපු උදවියත් හිටියා.නැත්තෙම නෑ.ඒව කාලයාගේ ඇවෑමෙන් එහෙට මෙහෙට මාරු වෙලා ගියා. මං විවාහ වෙන්නේ අවුරුදු 22 න්.මං ජනප්‍රිය වෙන්නේ විවාහ වෙලා දුව ලැබුණට පස්සේ.අපි ගොඩක් වෙලාවට එදිනෙදා වේල හම්බ කරගෙන කාපු උදවිය.මම ලී කැටයම් කළේ.ඉතින් ගීත ගායනයට යොමු උනාට පස්සේ හැම තැනකින්ම ප්‍රසංග එන්න ගත්තා.ඉතින් ඒ නිසා ඒ ප්‍රසංග වලට සහභාගි වුණා.මොකද ඒ දවස් වල තිබ්බ සල්ලි හොයා ගැනීමේ උවමනාව.මොකද අපි සල්ලි තිබ්බ උදවිය නෙවෙයිනේ.

අපි ඒ කාලෙ සෑහෙන අමාරුවෙන් ජීවත් වුනේ.තාත්තා අසූවෙ වැඩ වර්ජනයට අහුවෙනවා.ඉතින් ඒ වෙලාවේ තාත්තා වැඩපලෙන් එළියට දානවා.එතකොට මට අවුරුදු දහයයි.ඊට පස්සේ තාත්තා වඩු වැඩ කරනවා.ඉතින් ඒ හරහා මමත් තාත්තට වඩු වැඩ වලට අත් උදව් දෙනවා.ඒ නිසාම වෙන්න ඇති අපිට අධ්‍යාපන කටයුතුත් මගහැරෙනවා.මම සාමාන්‍ය පෙළ දක්වා එනවා.එතනින් එහාට මට යන්න බැරි වෙනවා.ඉතින් ඒ නිසා මියුසික් වලට ම තැන දීලා මියුසික් ඉගෙන ගෙන ඉස්සරහට ආවා.

මම ලී කැටයම් වලට හුරු වුනේ ගෙදරට බරක් වෙන්න උවමනා නැති නිසා.ඒ වගේ ම මට උවමනාව තිබුනෙ කොහොම හරි සල්ලි හම්බ කරන්න.මොකද ඒකට එක හේතුවක් වුණා මම අවුරුදු 22 දි විවාහ වුන එක.ලී කැටයම් තමයි මම අවුරුදු ගණනාවක් කළේ.ඊට පස්සේ දරුවෝ ලැබුණට පස්සේ ගීත ගායනය ඔස්සේ මට ඉදිරියට යන්න ඉඩ සැලසෙනවා.එතකොට තමයි ටිකෙන් ටික මම ලී කැටයම් අතාරින්නෙ.ඇත්තටම ලී කැටයම් අත ඇරපු එක අපරාධයක්.මොකද මම සාප්පු ගණනාවක ම වැඩ කළා.දැන් සංගීත පැත්තට යොමු වෙලා නිසා වෙලාවක් නැහැ නිදි මරලා එන්නේ.ඉතිං නිදා ගන්න බලාගෙනම තමයි ගෙදරට එන්නේ.ඒ නිසා තමයි ලී කැටයම් මම ටිකෙන් ටික අත ඇරියේ.හැබැයි මම ගෙදර තියෙන ලී වැඩ මඟ අරින්නෙ නෑ.මේ ගෙදර තියෙන සියලුම ලී කැටයම් කපලා තියෙන්නෙ මම.මට මගෙ මේ දක්ෂතාව නිසා බය වෙන්න දෙයක් නැහැ.මොකද මට කවදහරි ගීත ගායනා කිරීමේ හැකියාව නැති උනත් එදිනෙදා හම්බ කරන්න ආදායම් මාර්ගයක් මට උපතින්ම දීලා තියෙන්නේ.එහෙම තත්ත්වයක් ආවොත් ලී වැඩ වලට බහිනවා.”

යනුවෙන් තමයි එම සුන්දර අව්‍යාජ කතාබහේ දී අසංක ප්‍රියමන්ත පීරිස් නම් අසහාය කලාකරුවා පවසා සිටියේ.ඔහු සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දායාද කළ ගීත අදටත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම තියෙනව.මෙවන් කලාකරුවන් රටට සම්පතක්.ඉතින් මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන අතරම තවත් නව ගීත රැසක් රසිකයාට දායාද කිරීමට හැකිවේවායි සුබ පතනවා.