Life Story

ලෝක රූ රැජින තරගයේදීත් මගේ රටට මම යුතුකම් ඉටුකරනවා-මෙවර මිස් ශ්‍රී ලංකා රූ රැජින වූ සුන්දරිය

මෑත කාලයේදී අපේ රටේ නවක පරපුර නියෝජනය කරන දක්ෂ තරුණ තරුණියන් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩි නැඹුරුවක් පවතිනවා. ඉතින් එයට හොඳම උදාහරණයක් තමයි යෝහානි. ඉතින් යෝහානි වගේම අපේ රටේ නම ලෝකයේම බබලවන්නට බලාපොරොත්තුවෙන් ඉන්න සුරූපී සුන්දර තරුණියක් ගැන අපිට අහන්නට දකින්නට ලැබුණා. ඇය තමයි ෂාඩේ ග්‍රීන්වුඩ්.

කොහොම නමුත් පසුගිය දවසක මිස් ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියේ අවසන් අදියර කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත් වුණා. ඒ පෙටෝ රිකා හි පැවැත්වෙන 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සුන්දර යුවතිය තේරීම සඳහාය. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍ය හිමිවූයේ ෂාඩේ ග්‍රීන්වුඩ් හටයි. ඉතින් ඒ වගේම ඇය වයස අවුරුදු දහ අටක් වන එංගලන්ත සම්භවයක් සහිත ශ්‍රී ලාංකික යුවතියක් වීම විශේෂයි.

ෂාඩේගේ පියා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් සහිත අයෙක්. ඉතින් ඒ වගේම ඇයගේ මව ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එයාලංකා සහ එමිරේට්ස් ගුවන් සේවයේ රාජකාරි කළ ශ්‍රී ලංකික කාන්තාවක් වන සමන්තා ගෝමස්.

වයස අවුරුදු දාහතරේදී නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුනු ඇය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගෙන තිබුනේ ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයයි. එහි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය හදාරමින් සිටින ඇයට මිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා අයැදුම් කිරීමට උනන්දු කරන්නේ ෂාඩේගේ හොඳම මිතුරිය බවයි ඇය පවසන්නේ.

ඉතින් මිතුරියගේ සහ පවුලේ මඟ පෙන්වීමෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම මිස් ශ්‍රී ලංකා තරගාවලියේද සාර්ථක තැනැත්තියක් වීමට හැකිවූ බව ඇය සතුටින් පවසනවා. ඉතින් ඒ වගේම සුන්දර සිනහවකට හිමිකම් කියන මේ රූමතිය සැබැවින්ම සතුන්ට ආදරය කරුණාව දක්වන අපූරු යුවතියක්. ඇයට ඉඩක් ලැබුණු සෑම වේලාවකම ඇය දිවයන්නේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක ස්වේච්ඡා සේවයේ යෙදීමටයි. එපමණක් නොව, සාගරය ආරක්ෂා කිරීමේ වෙහෙසකර වෑයමකද ඇය මේ වනවිට නිරතවෙමින් සිටිනවා.

ඉතින් ඒ වගේම අද ඇයගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය නොමැකෙන සේ සනිටුහන් කිරීමටයි. ඉතින් ඒ බව ඇය පවසන්නේ මෙන්න මේ විදිහටයි. මම ඇත්තටම සතුටු වෙනවා මිස් ශ්‍රී ලංකා කිරුළ මගේ හිසේ පලඳින්නට හැකිවීම ගැන. කුඩා කාලෙදිත් මට හිතුණා මේ ලෝකය වෙනස් කරන්න පුංචි මටත් පුළුවන් වේවි කියලා. ඇත්තටම, අද මම ඒ අභියෝගය භාරගෙන එය සාර්ථකව නිමකරලා තියෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මගේ රට මගේ ජනතාව වෙනුවෙන් මගේ යුතුකම ඉටුකරන්නයි. ඒ වෙනුවෙන් මම වෙහෙසෙනවා. මහන්සිවෙලා වැඩ කරනවා. කවදාහරි මට ඕනේ ජාත්‍යන්තර වේදිකාවක මගේ රට නියෝජනය කරන්නයි. අද මම ඒ ඉලක්කයත් ජය ගෙන තියෙනවා. දැන් මේ දෙසැම්බරයේ පෝටෝ රිකෝවල තියෙන 2021 ලෝක රූ රැජින තරගයට සහභාගී වෙලා මගේ රටට කීර්තියක් ලබා දීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ කියලයි ඇය බොහොම ආඩම්බරයෙන් පවසන්නේ.

ඉතින් ඇයගේ මේ සොඳුරු බලාපොරොත්තුව ඉටුකර ගැනීමටත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේදී ගෞරවයක් අත්කර දීමටත් ඇයට හැකිවේවායි කියලා අපිත් හදවතින්ම ඇයට සුබපැතුම් එකතු කරමු.