Life Story

රන්දික අයියව හැබැහින් දැකපු දවසෙම මම හිතාගත්තා මේ තමා මගේ පෙම්වතා කියලා-සුරූපී නිලි අමන්දා ජයරත්න

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියලා කියන්නේ. නීල පබළු ටෙලිනාට්‍යයේ මොණිකාගෙ චරිතය හරහා රංගන පිවිසි ඇය ඉන්පසු චරිත ගණනාවක් ඔස්සෙ ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඉතින් ඒ අතර ඉත්තෝ, තාදී, සිදූ, ක්වීන්, තෝඩු ආදී ටෙලිනාට්‍ය මෙන්ම මේ දිනවල ඇය තවත් ජනප්‍රිය වෙලා තියෙන්නේ හිරු නාළිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ සුදු මැණිකෙ නැත්තම් සත්‍යාගේ චරිතය හරහායි. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ඇය අපත් සමඟ කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මම මගේ පළමු නිර්මාණයට සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු 17 දී. ඒ නීල පබළු නාට්‍යයේ මොනිකාගේ චරිතය තුළින්. මට ඒ අවස්ථාව දෙන්නේ ලලිත් වසන්ත සර්. මොකද මම වයස අවුරුදු එකේ පටන් වෙළෙඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා. අම්මයි තාත්තයි මුලින් ඉගෙන ගෙන ඉන්න ඕනේ කියලා හිතලා ඒ දේවල් පොඩි කාලෙම නවත්තලා තියෙනවා. ඊට පස්සේ තමා වයස 17න් නැවත නීල පබළු එක්ක සම්බන්ධ වුණේ.

කොහොම නමුත් මගේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යය. ඒ අවස්ථාව මට ලැබෙන්නේත් රංගන ශිල්පිනියක් වන අනෝමා කුමුදුනි නැන්දා නිසා. ඊට පස්සේ මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. එතැනදී මට කිව්වා හරි අපි දන්වන්නම් කියලා. ඊට මාසයකට විතර පස්සේ නිවන්ත අයියා කතා කරලා කිව්වා සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා කියලා. මම ඇහුවා මොකක්ද අයියේ කියලා. එතකොට තමා කිව්වේ ඔයාව අපේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙනවා කියලා. ඇත්තටම ඒ වෙලාවේ මට ඇඬුණා. නිවන්ත අයියා ඒත් ඇහුවා ඇයි ඔය අඬන්නේ කියලා. මට දැනුණ සතුටට තමා මගේ ඇස්වලින් කඳුළු ආවේ. මගේ ජීවිතේම අලුත් වුණා වගේ හැඟීමක් මට ආවා. මොකද මම ආසාවෙන් හිටියේ ප්‍රධාන චරිතයක් කරන්න. මට දුරකථන ඇමැතුම ආවෙත් මගේ 22 වැනි උපන් දිනයට පහුවදා. ඉතින් මේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යය තමා මගේ උපන් දිනයට ලැබුණු හොඳම තෑග්ග.

කියන්න ඕනේ මේ අය හැමෝම එක්ක මම රඟපාන පළමු අවස්ථාව. බිමල් අයියා රන්දික අයියාව එහෙම දැකලා තිබ්බේ රූපවාහිනියෙන් විතරයි. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ බිමල් අයියා එක්ක ඇත්ත තාත්තයි දුවයි වගේ රඟපාන්න මට ශක්තිය දෙන්න කියලා. බිමල් අයියා එක්ක මට මුලින්ම තිබ්බේ සංවේදී කොටසක්. එදා මට ඉකිගහන්න තරම් ඇඬුණා. මට මගේම තාත්තා වගේ තමා දැනෙන්නේ. ඒ වගේම චමිලා අක්කා එක්ක තමා මගේ මුල්ම රූපගතකිරීම් තිබ්බේ. කතාවට අනුව අම්මා ඉන්නේ ලෙඩ ඇඳේ. අම්මට කතා කරන්න බෑ. මා එක්ක කතා කරන්නේ ඇස්වලින්. ඒ රූප රාමුවත් ඉතාම සංවේදී එකක්. මටත් චමිලා අක්කගේ ඇස්වලටත් කඳුළු ආවා ඒ කොටස කරද්දී.

මුලින්ම ස්ක්‍රීන් ටෙස්ට් එක දවසේ තමා රන්දික අයියව හැබැහින් දැක්කේ. එදා මම හිතාගත්තා මේ තමා මගේ පෙම්වතා කියලා. එහෙම හිතාගෙන තමා ඒ දුන්නු දෙබස් ටික මම රඟපෑවේ. ගොඩක් රිලැක්ස් චරිතයක්. මට හොඳ සහයෝගයක් දෙනවා. හිතාගන්න බැරි විදියට අපේ ආදර කතාව රූපගත කරන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා. වයස අවුරුදු 17 දීම තමා මට ආදර යෝජනා ආවේ. ඒත් මම තවම කැමති නැහැ ආදර සම්බන්ධයක් පටන් ගන්න. මට නිදහස උපරිම ඕනේ. අහන අය ඉන්නවා. ඒ ඉතින් ඒ අයට හිතෙන දේනේ. කැමති නැහැ කියන එක විතරයි මම කියන්නේ. ඊට එහා මම ඒවාට මුකුත් කියන්න යන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment