Life Story

රටක් ආදරය කරන සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම ජීවමාන සලකුණ අයිරාංගනී සේරසිංහ මහත්මිය

ඇය අද අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියයි. තවත් විටෙක පරිසරයට පන මෙන් ආදරය කරන පරිසරවේදිනියකි. ඒ පදවි තානාන්තරවලින් ඔබ්බට අප සැමට එදා මෙන් අදත් ආදරණීය කරුණාබර සෙනෙහෙවන්ත මාතාවකි. නමින් අයිරාංගනී රොක්සානා මීදෙණිය නම් වූ ඇය අද අප ඉදිරියේ සිටින්නේ අයිරාංගනී සේරසිංහ නාමයෙනි. ඒ තම ආදරණීය ස්වාමියාගේ වාසගම සහිතවයි.

සුවහසක් ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ අයිරාංගනී සේරසිංහ නම් සම්මානනීය රංගන ශිල්පිනිය පසුගිය ජුනි 21 වැනි දින සැමරුවේ ඇයගේ 94 වැනි ජන්ම දිනය යි. ජෝශප් හර්කියුලිස් සහ වයලට් එල්ලාවල දෙපළ මවුපියන් කරමින් 1927 ජුනි 09 වැනිදා පවුලේ දෙවැනි දරුවා විදිහට තමයි ඇය මෙලොව එළිය දකින්නේ. ඒ රුවන්වැල්ල මුදුන්ගොමුව මීදෙණිය වලව්වේදී . අක්කයි ඇයයි නංගියි මල්ලියි තමයි ඇයගේ පවුල වුනේ. පුංචි කාලෙ ඉඳලම කාටවත් බය නැති දඟකාර චරිතයක් වුණ නිසා ගෙදරින් ඇයට ආදරේට කතා කලේ චණ්ඩි කියලා.

ඇය ශාන්ත බි‍ර්ජට් කන්‍යාරාමයෙන්, බිෂොප් විද්‍යාලයෙන්, උසස් බාලිකා විදුහලෙන් වගේම මහනුවර ලංකා විශ්වවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබලා තියනවා. මුළින්ම ඉංග්‍රීසි නාට්‍ය වල රඟපාමින් විවිධ සංකීර්ණ භූමිකා නිරුපනය කිරීමේ අවස්ථාව ඇයට ලැබුනේ ඇන්ටගනී, ට්වින්ස්, ගෝස්ට්, ද ත්‍රී සිස්ටර්ස් වැනි වේදිකා නාට්‍ය තුළිනි. ඈ චිත්‍රපට වලට සම්බන්ධ වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ 1956 වසරේ කරළිනා හාමිගේ භුමිකාවෙනි.

ඉන් අනතුරුව දෙලොවක් අතර, ඔබ දුටු දා, බක් මහ දීගේ, ගෝඩ් කිං, සාගරයක් මැද, තුන්වෙනි යාමය, දෙවෙනි ගමන, හිම කතර, අවරගිර, ලොකු දුව වැනි විශිෂ්ට නිර්මාණ වල රංගනයේ යෙදුනු ඇය සම්මාන රැසකට හිමිකම් කියන්නත් වාසනාවන්ත වුණා. යශෝරාවය, දු දරුවෝ වැනි ටෙලි නාට්‍ය වලින් රසික සිත් දිනා ගත් ඇය අදටද ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්.

දශක ගණනාවක් කළා ක්ෂේත්‍රය තුල රැඳී සිටි එතුමිය දැන් නිදහසේ කාලය ගතකරමින් සිටිනවා. නමුත් ඇය රංගනයෙන් එකතු වුනු නිර්මාණ අදටත් නිතර දකින්න ලැබෙන එකත් වාසනාවක්. මම යන තැනකට පිනක් දහමක් කරගෙන යන්න ලැබෙනවා නම් මට ඒ ඇති කියලා එතුමිය කියලා තිබුනා. මුළු මහත් ශ්‍රී ලංකාවේම ආදරය දිනා ගත් මිත්තණියක වන ඇයට තෙරුවන් සරණින් තව තවත් නිරෝගිව තව චිරාත් කාලයක් අප සමඟම රැදෙන්න ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.