Life Story

මේ ව්‍යසනකාරී තත්ත්වය ගායක ගායිකාවන්ට අපූරු පාඩමක් කියා දුන්නා-ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ

තීක්ෂණ අනුරාධ කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. සිරස සුපර්ස්ටාර් පළමු අදියරේ සුපිරි තරු මාවතේ ආපු රටම හදුනන නිහතමානී ගායන ශිල්පියෙක් තමයි ඔහු. මේ වෙනකොට ආදරණීය පුංචි පොඩ්ඩෝ දෙන්නෙකුගේ සෙනෙහෙබර පියෙකු වන තීක්ෂණ කාටත් ආදර්ශයක් ලබාදෙමින් සුන්දර පවුල් ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන අපිට කිවුවේ මෙන්න මෙහෙමයි. මේ දවස් වලනම් වසංගත තත්වය නිසා නිවෙස තුළ වැඩි කාලයක් ගත කරනවා. නමුත් විවිධ රාජකාරි කටයුතුවලටත් පිටතට යන්න සිදු වෙනවා. දරුවෝ දෙදෙනාගේ හුරතල් කාලය නිසා එයාල එක්ක සෙල්ලම් කරමින් කාලය ගත කරනවා.

ඒ වගේම කියන්න ඕනේ එළිමහන් ප්‍රසංග නොමැතිවීම ගායකයෙක්ගේ අත්දෙක කඩල දැම්ම වගේ දෙයක්. හැබැයි මේ ව්‍යසනකාරී තත්ත්වය ගායක ගායිකාවන්ට අපූරු පාඩමක් කියා දුන්නා. එකම ආදායම් මාර්ගයකට කොටු නොවී තවත් ආදායම් මාර්ග එකතු කරගන්න අවශ්‍යයි. ඒ වගේම මුදල් හම්බකරන කාලයේ ඉතුරු කර ගැනීමේ වටිනාකම එයින් කියා දුන්නා. එළිමහන් ප්‍රසංගවලින් දැනෙන අඩුව පුරවන්න බැහැ. නමුත් ජීවත්වීමට අවශ්‍ය ආර්ථික වටිනාකම් එවැනි තත්වයන් තුළත් ගොඩනඟා ගත හැකියි.

රියැලිටි තරඟයක් ජයග්‍රහණය කළ පමණින් අපි ජීවිතය දිනුවා කියලා හිතන්න අමාරුයි. එයින් සිදුවන්නේ ඕඩියන්ස් එකක් නිර්මාණය වීම පමණයි. ගොඩනඟා දුන් ඕඩියන්ස් එක වැඩි කරගන්නවද, නැති කර ගන්නවද, දීර්ඝකාලීනව පවත්වා ගන්නවාද යන්න තීරණය කරන්නේ එක් එක් පුද්ගලයාගේ ක්‍රියාකලාපය මතයි. ගායන හැකියාව, සංගීතය පිළිබඳ දැනුම පමණක් ඊට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අප ක්ෂේත්‍රයේ රඳා පවතින්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මතයි. ඒ නිසා ඔවුන්ගේ ආදරයට අපත් අවංක වෙන්න අවශ්‍යයි. එය මවාගත් ළැදියාවක් වෙන්න බැහැ. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට වගේම මේ ගමනට එන්නට මග පෙන් වූ සියලුම දෙනාට අප ගරු කළ යුතුයි. එකී කරුණු කාරණා ජීවිතයට එක් කර ගත්තොත් අප වටා එක් රොක් වූ පෑන් බේස් එක වැඩි කරගන්න පුළුවන්.

අවුරුදු කිහිපයකට කලින් මායි මගේ බිරිදයි පෙම්වතුන්ව සිටි අවධියේදී හුවමාරු කරගත් ලියුම් මට මෑතකදී හමුවුණා. ඒවා දැන් තියෙන සීන්දු වලටත් වඩා ගොඩක් බොළඳයි. විචාරකයන්ගේ වයසට බූට් සින්දු බොළඳයි කියා දැනුණත් ඒවා තාරුණ්‍යයට හොඳට සෙට් වෙනවා. බූට් එකක් කෑවාම අඬමින් හෝ දුක තුනී කරගන්න එහෙම සින්දුවක්වත් තියෙන එක ගොඩක් වටිනවා. ඒ නිසා බොරුවට විචාර කර කර ඉන්නවට වඩා තමන්ගේ වයසට ගැළපෙන දෙයක් රසවිඳින එක ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම මගේ එකම අනාගත බලාපොරොත්තුව මගේ දරුවෝ දෙන්නගේ අනාගතය. ඔවුන් කුමන රැකියාවක් කළත් සාධාරණව අවංකව කරන්න ඉගැන්වීමයි මගේ එකම පරමාර්ථය කියලයි මේ රටක් ආදරය කරන ගායන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment