Life Story

මිනිස්සු දෙවෙනි ඉනිම පිස්සුවෙන් වගේ බලනවා, ඒ නිසා ප්‍රතිචාරත් වැඩියි-දෙවෙනි ඉනිමේ අශෝක

දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය කියලා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹන ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම කතා බහට ලක් වෙන චරිතයක් තමයි අශෝක කියලා කියන්නේ. ඉතින් එම චරිතයට රංගනයෙන් දායක වන චාමර බණ්ඩරනයක ඔහුගේ කලා කටයුතු ගැන වගේම අලුත්ම තොරතුරු අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. නළුවෙක් වෙන එක ගැන මට පොඩි කාලේ ඉඳලම හීනයක් තිබුණා. පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ළමයින්ගෙන් අහනකොට ලොකු උනාම කවුද වෙන්න කැමති කියලා එතකොට මම කියලා තියෙන්නේ ලොකු උනාම නළුවෙක් වෙන්න කැමති කියලා. ඒක ඒ කාලේ ඉඳං අද වෙන්කන් වෙනස් වෙලා නෑ. ඉස්සරහටත් එහෙමම තමයි. මම පාසල් යන කාලයේ ඉදන්ම රංගනයන්ට ඉතාමත් නැඹුරුවක් සහ ආශාවක් තිබුණා. එම නිසා පාසල් යන කාලේ ඉඳලම රංගනය විෂයක් විදියට ඉගෙන ගත්තා. පාසල් කාලයේ තිබුනු කලා උළෙලවල් සහ තිබුන හැම උත්සවයක්ටම මම රංගනයෙන් දායකත්වය දුන්නා. කලාව පැත්තෙන් පාසලට මාව නැතිවම බැරි චරිතයක් වුණා. ඉතින් ඒ වගේම පාසල් කාලෙදීම මම ටෙලිනාට්‍යවල රංගනයට දායක වෙලා තියෙනවා. මගේ පළමු ටෙලිනාට්‍ය සුනිල් කොස්තා මහතාගේ සිරි සිරිමල් කියන නාට්‍යය.

එම නාට්‍ය 2006 වර්ෂයේදී ජාතික රූපවාහිනියේ විකාශය වුණා. ඊට අමතරව පාසල් කාලේ වේදිකා නාට්‍ය වල සහ දීප ව්‍යාප්ත නාට්‍ය තරඟ වලට සම්බන්ධ වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. පාසලෙන්ම ඉවත් උනාට පසුව රංගනය සම්බන්ධයෙන්යෙන් තිබෙන වැඩමුළු සහ පාඨමාලා හදාරල තියෙනවා. ඒවාට යොමු වීම තුලින් ප්‍රවීණයන්ගේ ඇසුර සහ ආභාශය ලබාගැනීමට හැකි වුණා. ඊට අමතරව මියුසික් වීඩියෝ හරහා මගේ හැකියාවන් ඉදිරිපත් කරා. මම හිතුවට වඩා ලොකු ප්‍රතිචාර ප්‍රමාණයක් දෙවෙනි ඉනිමේ අශෝකගේ චරිතයට ලැබෙනවා. මම රඟපාන්නේ දුෂ්ඨයෙකුගේ චරිතයක් නිසා ඒක මිනිස්සු ගොඩක් අකමැති චරිතයක් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කරල තියෙනවා කියලා.

අශෝකගේ චරිතය නිසා ප්‍රේක්ෂකයන්ගෙන් අහපු හොඳ වලට වැඩිය අහපු බැනුම් ප්‍රමාණය තමයි වැඩිම. අත්දැකීමුත් ගොඩක් තියෙනවා. මිනිස්සු අශෝකගේ චරිතය නිසා සාමාන්‍ය ජීවිතයේදීත් දෙවෙනි ඉනිමේ ඉන්න අශෝකගේ චරිතය බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ගැටුම්කාරී අවස්ථා වලට මුහුණ දීපු අවස්ථාත් තියෙනවා. කොහෙවත් යන ප්‍රශ්න ඇඟට ඇවිල්ලා තියෙනවා. දවසක් සුපර්මාර්කට් එකකදී මැදිවියේ කෙනෙක් මාව දැකලා සෙනඟ මැද්දෙ හොඳටම බැන්නා. මිනිස්සුන්ට මම දැකපු ගමන් සැබෑ ජීවිතයේත් තරහක් ඇතිවෙනවා. මිනිස්සු දෙවනි ඉනිම පිස්සුවෙන් වගේ බලනවා. හැබැයි මාත් එක්ක කතා කරනකොට මිනිස්සු තේරුම් ගන්නව මම කරන්නේ චරිතයක් විතරයි කියලා. කොහොම වුණත් මිනිසුන්ගෙන් බැණුම් අහන්න පැත්ත වැඩියි මේ චරිතයට.

බාරගන්න හැම චරිත්යක්ම අභියෝගයක් තමයි මට. මම කරන්නේ මගේ චරිතය නෙවෙයි. හැමදාම කරන්නේ වෙන කාගේ හරි චරිතයක් නිරූපණය කිරීම. මට ලැබෙන හැම චරිතයක්මයක්ම ආසාවෙන් තමයි කරන්නේ. ඊට අමතරව දුෂ්ඨයාගේ චරිතයට මම වැඩි කැමැත්තක් දක්වනවා. මේ ක්ෂේත්‍රයේම ඉදිරියට යන්න කැමති. මගේ හිතේ තියෙනවා මම නිරූපණය කරන්න ආස චරිත් ටිකක්. තව තව අලුත් නිර්මාණවලට එකතු වෙන්න කැමති. විවිධ නිර්මාණ වලින් මගේ විවිධ චරිත පෙනෙන විදියට ප්‍රේක්ෂකයා ඉදිරියට එන්න කැමතියි කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment