Life Story

මම කවදාවත් දිය රෙද්දක් ඇඳලා නැහැ, වැව්වල, ඇළ දොළවල්වල නාලත් නැහැ-ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකා

අපේ රටේ කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ. මීට අවුරුදු දහයකට කලින් ආසියානු විවාහක රූ රැජන වූ ඇය ඉන්පසු රඟපෑවේ තෝරාබේරා ගත් චරිත පමණයි. ඉතින් ඒ වගේම පසුගිය කාලයේ ඇමරිකාවේ පදිංචියට ගිය ඇය හදිසියේ නැවත ලංකාවට ආවත් කොරෝනා නිසා දැන් අපේ රටේ තමයි ඉන්නේ. ඉතින් ඒ කාලය තුළ ඇය සකර්ම නාට්‍යයේ හා මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ රංගනයට දායක වෙමින් දැන් ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඉතින් කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම මට නම් ටිකක් අමුතුයි. මොකද මම ජීවත් වුණේ නාගරික පරිසරයේ. ඊට පස්සේ ඇමරිකාවේ. මෙතෙක් රඟපෑවේ නාගරික යුවතියකගේ චරිත. ප්‍රථම වතාවට තමයි දුක්විඳින ගමේ ගැහැනියක් ලෙස මම රඟපාන්නේ. ඇත්තටම මම කැමැතියි ඒ චරිතයට. දරුවෙක් එක්ක තනිවෙලා මිනිසුන්ගේ තාඩන පීඩන මැද්දේ ජීවත්වෙන්න වෙර දරන කර්කස ගැහැනියගේ චරිතයට මම කැමැතියි. මේ නාට්‍ය නිසා තමා මම දැනගත්තේ ඇත්තටම එහෙම ගැහැනු මේ සමාජයේ ජීවත්වෙනවා කියලා.

මේ චරිතයට මට ලොකු අභියෝගයක්. මුලින්ම මම බැහැ කියලා කිව්වේ. නමුත් අධ්‍යක්ෂතුමා කිව්වා මට ඒ චරිතය කරන්න පුළුවන් කියලා. මුලින්ම රඟපාන්න තිබුණේ දිය රෙද්දක් ඇඳලා නාලා එන දර්ශනයක්. මම දන්න විදිහට ඇවිදගෙන ආවා. එත‍කොට අධ්‍යක්ෂ කියනවා කැට්වෝක් දාල යන්න එපා කියලා. මොකද මට පුරුදු පැෂන් ෂෝවල ඇවිදලානේ. මම මීට කලින් දිය රෙද්දක් කවදාවත් ඇඳලා නැහැ, මම වැව්වල නාලාත් නැහැ. දොළවල්වල නාලා නැහැ. ඇත්තටම කට්ටිය මැද්දේ දියරෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුණේ.

මහව, යාපහුව, දළදාගම වගේ ප්‍රදේශවල තමයි රූපගත කිරීම් කළේ. නාට්‍යයේ මගේ ගෙදර විදිහට අරගත්තේ දුප්පත් පැලක්. ඇත්තටම ඒ ගෙදරත් පවුලක් ජීවත් වෙනවා. මට හිතාගන්න බැරි වුණා අවම පහසුකම් යටතේ මෙහෙම ජීවත්වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ මිනිස්සු සතුටින් ඉන්නේ. අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. විවිධ අවස්ථාවල විවිධ ගැටලු. ඒවා දැක්කම අපි ඒ මිනිස්සු තරම් සතුටින් නෙවේ.

අපි විසින් ජීවිතේ සංකීර්ණ කරගෙන ඉන්නේ. ඒ මිනිස්සු ඇළෙන් නාලා දොළෙන් වතුර බීලා තියෙන දෙයක් කාලා බීලා ස්වාභාවික පරිසරයක් එක්ක ජීවත් වෙනවා. අපි හොයන්නෙම අඩුපාඩු විතරයිනේ. මම ජීවිතේ ලොකු වෙනසක් අත්වින්දා. ඒ ගම් ඇතුළට යන්න යන්න දුෂ්කර වුණාට ලස්සනට ජීවත් වෙනවා. ලස්සන ගෑනු ළමයි ඉන්නවා. ඒ අය දොළට ඇවිත් නාලා ඇඳුම් ටික සෝදාගෙන යනකොට හිතෙනවා අපි මොනවද කරන්නේ කියලා. මමත් මේ දවස්වල සකර්ම නිසා ඒ ජීවිතේ අත්විඳිනවා. ඇළේ දොළේ නාලා ගමේ කෑම කාලා සතුටින් ඉන්නවා.

මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ මම ඉහළ පැලැන්තියේ අම්මා කෙනෙක්ගේ චරිතයක් කරන්නේ. ඒකනම් මට අමාරු නැහැ. රාගල ප්‍රදේශයේ තමා රූපගත කිරීම් කරන්නේ. හරිම ලස්සන ලොකේෂන්. සෙන් ජෝන්ස් කියන වතුයායේ තමා මේ දවස්වල රූපගත කිරීම් කරන්නේ. මම ඇවිදින්න හරිම කැමැතියි. මම රඟපාන්න ආවෙත් ඇවිදින්න තියෙන ආසාව නිසා. මහව යනවා. රාගල යනවා. ඒ යන එන ගමන් ජීවිතේ අත්විඳිනවා.

මට ආයෙත් ඇමරිකාවට යන්න වෙනවා. මොකද දුවගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් මට ඒ කැප කිරීම කරන්න වෙනවා. නමුත් මම වැඩ කරන නාට්‍ය දෙක නිසා සිතට ලැබෙන සතුටට දාලා යන්න හරිම ලෝභයි. ඒ තරමට සුන්දර දර්ශන තල දෙකක වැඩ කෙරන්නේ. නමුත් නිසි කලට නිසි දේ ලැබුණා කියලා මම විශ්වාස කරනවා. දැන් මම වැඩ කරන්න අරගෙන අවුරුදු දහයක් වෙනවා. බොහොම හිමින් ගමනක් ඇවිත් බොහෝ දේ අත්පත් කරගත්තා. මම ජනප්‍රියත්වට කොහෙත්ම කැමති නැහැ. මට ඕන ජීවිතේ විඳින්න. මම ජනප්‍රියයි කියලා කෑගහනවට වඩා මගේ හිත සතුටින් තියාගන්න පුළුවන්නම් මට වෙන කිසිම දෙයක් එපා කියලයි මේ සුන්දර රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පැවසුවේ.