Life Story

මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ රංගනයට-දුටුවන් වශීවෙන නෙත් යුගලක් හිමි ගායිකා හිරුෂි ජයසේන

අපේ කළා ක්ෂේත්‍රයේ මෑත කාලයේ බිහිවෙන ජනප්‍රිය කළා තරු රැසක්ම විවිධ දක්ෂතා රැසකට හිමිකම් කියනවා. ඉතින් අපේ රටේ ඉතාම කෙටි කාලයක් තුලදී ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගැනීමටත් ඔවුන්ට එම සහජ දක්ෂතාවයන මනා පිටුවහලක් වෙනවා. ඉතින් ඒ වගේ විවිධ ශෛලියන් රැසක් ගායනා කිරිමට හැකි සංගීත ශිල්පිනියක්, දක්ශ නිවේදිකාවක්, බරත නර්ථන ශිල්පිනියක්, වාදන ශිල්පිනියක් ආදී අංශ රැසක් එකවර උපතින්ම පිහටපු රූ සපුවත් එයටම නොදෙවෙනි අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපි තරුණියක් තමයි හිරුෂි ජයසේන කියලා කියන්නේ. ඉතින් මේ සුරූපි කළා ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස්වල මම අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන, තව වැඩවලට සැලසුම් හදමින් ඉන්නවා. ඒ අලුත් අලුත් වැඩ අතර සයනේ කියන්නේ මම පළමුවැනියට තනු නිර්මාණය කරපු ගීතය. ඒ ගීතය ගායනා කරන්නෙත් මම. ඒ නිසාම මේ ගීතය මේ වසරේ කොහොමහරි එළිදක්වන තීරණයේ මම හිටියා. මේ ගීතයේ සංගීත සංයෝජනය කළේ පසන් ලියනගේ. පදරචනය කළේ යශෝධ අධිකාරි. මේ ගීතයට අපි රූප රචනාවක් නිර්මාණය කළා. ඒක නිර්මාණය කළේ හසින්ත් පතිරණ.

ඉතින් ඒ වගේම මේ ගීතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ගීතයේ රූප රචනාව ටිකක් වෙනස්. කලාත්මක පැත්තට බර කලාකරුවාව ඉස්මතු වෙන්න තමයි මේ ගීතයේ රූපරචනාව නිර්මාණය කළේ. ලංකාවේ එවැනි ගීත රූපරචනා අඩු නිසා මේ ගීතයට ප්‍රතිචාර ඉතාම ඉහළයි. විද්‍යුත් මාධ්‍ය මඟින් මගේ අනිත් නිර්මාණ වගේම සයනේ ගීතයටත් ලොකු ප්‍රචාරණයක් ලැබුණා. මේ නිර්මාණය මට ලංකාවෙන් එහා අන්තර් ජාතික මට්ටමෙන් ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

ඇත්තටම පසුගිය දශකය ඇතුළත රැප් සංගීතය වලංගු සංගීතයක් ලෙස හැමෝම භාරගත්තා. ගොඩක් අය දන්නේ නැහැ රැප්, හිප්-හොප් සංගීත ගොඩනඟන එක කොච්චර සංකීර්ණයිද කියලා. රැප්වලට තනුවක් නැහැ. රැප් එකේ වචනවලින්, තේරුමෙන්, රිද්මයෙන් ඒ තනුව නැතිකමේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න ඕනේ. එතනදි රැප් ආටිස්ට්ලාට ලොකු අභියෝගයක් තියෙනවා, තනුවක් නැති නිර්මාණයකට රිද්මයක් එක්ක හදන පදමාලාවලට ආකර්ෂණයක් එකතු කරන්න.

ටික කාලෙකට කලින් මම ඉංග්‍රීසි රැප් කියලා අන්තර්ජාලයට දැම්මේ ආසාවට. ඒකෙන් ගොඩක් ගෑනු ළමයි අභිප්‍රේරණය වුණා කියලා මට දැනගන්න ලැබුණා. රැප් එකකින් අපේ අදහස සෘජුවම ප්‍රකාශ කරන්න පුළුවන්. මම හිතනවා ගායිකාවන් ඉදිරියේදී තමන්ගෙ නිර්මාණවලට රැප් ශෛලියත් එකතු කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒක බටහිර ශෛලියට විතරක් කොටු වුණු සංගීතයක් නෙමෙයි. අපේ ජන සංගීතයේ සමහර නාද රටා තියෙනවා ඒ වගේ තනුවට බර නැති, රැප් ශෛලියට සමාන. ක්ෂේත්‍රයේ හැමෝටම මම ආරාධනා කරනවා ඒ වෙනසට උත්සාහ කරන්න කියලා. ඉදිරියේදී මම විසින්ම රචනා කරපු ගීතයකටත් රැප් ශෛලිය එකතු කරගත්තා.

මම සංගීතය හදාරලා තියෙන්නේ වාදනය පැත්තෙන්. ගායනයෙන් මම සංගීතය හදාරලා නැහැ. මම හැදෑරුවේ බටහිර සංගීතය. වයලින් වාදනය සහ පියානෝ වාදනය ඇතුළු බටහිර සංගීත භාණ්ඩ වාදනය හදාරලා තියෙනවා. ගායනය නම් ගෙදරින්ම මම පුහුණු වුණු දෙයක්. ඒක මගේ අම්මාගේ සහ තාත්තාගේ දිරිගැන්වීමත් එක්ක විනොදාංශෙට කරපු දෙයක්. පොඩි කාලේ ඉඳලාම මම විනෝදාංශයක් විදිහට ගීත ගායනා කළා. වෘත්තිය මට්ටමෙන් කලාකාරිනියක් ලෙස ක්ෂේත්‍රයට ආවේ 2016දී. ඒ මායා චිත්‍රපටයේ පසුබිම් ගීතය ගායනා කරමින්. මගේ පළමු වැනි ගීත නිර්මාණය කළේ 2018දී හැඟුමන් ගීතය.

රූසරා කියන්නේ භාතිය සහ සන්තුෂ්ගේ නවතම ගීතය. එහි රූපරචනාවේ මම රඟපානවා. රූසරා ගීතයට ආරාධනාව ලැබුණාම රංගනයට ලොකු කැමැත්තක් නොතිබුණත් මම ඒ ව්‍යාපෘතිය බාර ගන්න හේතුව වුණේ ඒකේ මට නිරූපණය කරන්න තිබුණේ වීරවරියකගේ චරිතයක්. ලංකාවේ කලා නිර්මාණවල වීරවරියන් දකින්නේ හරිම අඩුවෙන්. ගොඩක් අපි දකින්නේ වීරයන්ව. කාන්තා සටන් ප්‍රතිරූපයක් පළමුවරට මේ ගීතයෙන් නිරූපණය වෙනවා. ඒ වගේ චරිතයකට පණ දෙන්න ලැබුණු එක හොඳ අත්දැකීමක් මට. රූසරා ගීතයටත් මට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මාව දකින්නෙ නැති අලුත් විදිහේ ප්‍රතිරූපයක් එතන තිබුණා.

ඉතින් දැන් මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ රංගනයට. මගේ සංගීත ගමනට උදවු වෙන විදිහේ ආරාධනා රංගනය පැත්තෙන් ලැබුණොත් මම භාර ගන්නවා. චිත්‍රපට පසුබිම් ගායනයට ආරාධනා ලැබුණොත් නම් අනිවාර්යයෙන්ම භාරගන්නවා.

ඇත්තටම මම කිසිම රාමුවකට කොටු වුණේ නැහැ. ශාස්ත්‍රීය සංගීතය ඇතුළුව විවිධ ශානර අත්හදා බලා තියෙනවා. මේ ගමනේදී මට හිතුණා ලංකාවෙ වගේම ලංකාවෙන් එහා ඉන්න ප්‍රේක්ෂකාගාරයටත් ගායනා කරන්න පුළුවන් කියලා. මම පොඩි කාලේ අධ්‍යාපනයට විදේශගත වුණාම මම ඒ රටවල සංගීත ක්ෂේත්‍රය දැකලා තියෙනවා සහ ලංකාවෙන් පිටත ඉන්න විට ලංකාවේ සංගීතයේ සමහර විශේෂ ගුණාංග පෙනෙනවා. අපි ප්‍රායෝගිකව හිතුවොත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ මේ තරම් කාලයක් කරගෙන ආපු දේවල් ඒ රාමුව තුළ ඉඳලාම කරගෙන යන්න පුළුවන්. නමුත් ලංකාවට විදේශ විනිමයක් එකතුවෙන විදිහේ සංගීත ක්ෂේත්‍රයක් හදන්න අපි අවදානමක් ගන්න ඕනේ. අපේ පරම්පරාවෙන් ඒ අවදානම අරගෙන වෙනසක් කළොත් ඉදිරියේදී ලංකාවේ සංගීතයට අන්තර්ජාතික වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ වෙනස කරන විට අනිවාර්යයෙන්ම විවේචන එනවා. විවේචන නැති තැනක කවදාවත් සාර්ථකත්වයක් නැහැ. ඇගයීම් වගේම විවේචනත් මට වැදගත්.

මම ඉගෙනගත්තෙ මනෝ විද්‍යාව. මම පොඩි කාලේ ඉඳලා හැදුණේ විද්‍යාව එක්ක බැඳුණු විද්‍යාවට ආදරේ කරන පරිසරයක. මගේ තාත්තා සහ අයියා දෙදෙනාම විද්‍යාව පැත්තෙන් වෘත්තීන් කරන්නේ. ඉගෙනගන්න කාලේ ඉඳලා මම විද්‍යාවට දක්ෂ නිසා මම උසස් අධ්‍යාපනයත් විද්‍යාව විෂය ආශ්‍රයෙන්ම හැදෑරුවා. නමුත් මගේ හදවත සමීප ගොඩක් කලාවට. අවසානයේ මම කරන්නේ හදවත කියන දෙය. මගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කරලා කලාවට එන්න තීරණය කළා.

මගේ තාත්තා රනිල් ජයසේන. ඔහු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු ගීපද රචකයෙක්. ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකට ගීත ලියූ කෙනෙක් ඔහු. මගේ අම්මා මාදනී ජයසේන. ඇයත් ගායන විනෝදාංශයක් ලෙස ඉදිරියට කරගෙන ගිය කෙනෙක්. මට ගෙදරින් සියයට දෙසීයක සහයෝගයක් ලැබෙනවා. හිතුවේ නැහැ මම පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වෙනවට ඔවුන් කැමති වෙයි කියලා. නමුත් ඔවුන් ඉතාම කැමැත්තෙන් මගේ කටයුතුවලට සහයෝගය ලබාදෙනවා.

ඉතින් ඒ වගේම ඉස්සරහට ඔයාලා හැමෝටම මාව ගීතයෙන්ම දකින්න පුළුවන් වෙයි. ඒ වගේම සංගීතය හා බැඳුණු වෙනත් කලා කටයුතුවලදිත් හිරුෂි කියන කෙනාව බලාගන්න පුළුවන් වෙයි. ඉදිරියේදී මම කරන නිර්මාණ බහුතරයක් මගේම වෙයි. ඒ කියන්නේ මම විසින්ම ගායනයෙන්, පදරචනයෙන් සහ තනු නිර්මාණයෙන් හැඩ වුණු ගීත නිර්මාණය කරයි. ඒ වගේම ඇල්බම් එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලයි මේ සුරූපී කළා ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.