Life Story

මට දෙයක් එපා වුණොත් එපාමයි, දෙවෙනි ඉනිමේ අවුරුදු 04ක් මම දැන් රඟපානවා-ජනප්‍රිය නිලි ශලිනි ප්‍රනාන්දු

අපේ රටේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් නවක රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් අපේ රටේ ඉහල ප්‍රේක්ෂක ආදරයක් දින ගත් ඇය අද ලොක්කි බවට පත් වෙලා. ඉතින් අවුරුදු 04 ක මේ ගමන තුළ ඇගේ ජීවිතේ සොඳුරු මතක ඇය අපත් සමඟ කතා බහ කලේ මෙන්න මෙහෙමයි. ඒ දවස්වල අපේ අම්මා කියන්නේ දුව කියලා. ගමේ අය සුදුණි කියනවා. හැබැයි රඟපාන්න ආවට පස්සේ චූටි මැණිකේ වුණා. මේ දවස්වල හැමෝටම ලොක්කි. කොහොමවුණත් තවමත් මම කැමති චූටි මැණිකේ කියලා කතා කරනවාට.

මගේ උපන් ගම මීගමුව. මට අවුරුදු 04 ක් වනකොට තාත්ති මට අහිමි වෙනවා. අම්මයි, අයියයි තමයි ඇස් දෙක වගේ මාව බලාගත්තේ. මේ නිසා අනිත් කෙල්ලන්ට තිබුණ නිදහස මට නැතිව යනවා. උදේට ඉස්කෝලෙට එක්කගෙන යන්නේ අයියා. නිරන්තරයෙන්ම දැඩි ආරක්ෂාවක් මැද්දේ තමයි මම ජීවත් වුණේ. නමුත් යාළුවෝ මැද්දේ සතුටින් ඉන්න උත්සාහ කළා. මොකද, අම්මයි අයියයි සැර දාන්නේ මට තියෙන ආදරේට කියලා මම දන්නවා. ඉස්කෝලේ බැච් පාටියකටවත් යන්න අවසර නම් ලැබුණේ නැහැ. මම නිළියක් වෙන්න හීනෙකින්වත් හිතුවේ නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලම හිතාගෙන හිටියේ පැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියලා. උසස් අධ්‍යාපනය සඳහා මම තෝරගන්නෙත් ඒ පැත්තමයි. හැබැයි අවුරුදු 17 දී නොහිතපු මොහොතක මම නිළියක් වුණා.

අවුරුදු කුමරිය වුණාට පස්සේ මල්බර දෙරණේ වැඩසටහනකට ආවා. එදා තමයි ලක්සිරි සර් මට කතා කරලා කිව්වේ දෙවෙනි ඉනිමේ රඟපාන්න අලුත් යුවතියකට අවස්ථාව තියෙනවා කියලා. මට හිතාගන්න බැරි වුණා. මොකද, ඔයකාලේ මම දෙවෙනි ඉනිමට පිස්සු හැදුණ රසිකාවියක්. රවීන් අයියාගේ රංගනයට කොච්චර කැමතිද කියනවානම් රාත්‍රි පන්ති කට් කරලා ගෙදර එනවා දෙවෙනි ඉනිම බලන්න ඕනි නිසා. ඒ තරම් අසා කරන නාට්‍යයක රඟපාන්න ලැබෙනවා කියන එක මොනතරම් පුදුම හිතෙන කාරණාවක්ද?

අවුරුදු 04 ක් එක දිගට ලිහිණිගේ චරිතය රඟපාලා මාව වෙනස් මගකට යොමු කරන්නේ ලොක්කිගේ චරිතයෙන්. ලිහිණි කියන චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් මට තියෙන්නේ. ලිහිණිට වගේ දුක හිතුණට මම ලිහිණි තරම් නිහඬ චරිතයක් නෙමේ. තොරතෝංචියක් නැතිව කතා කරන චරිතයක්. හැබැයි ලොක්කි කියන්නේ ලිහිණිටයි, ශලනිටයි වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. හැමදෙයක්ම දරාගෙන උපේක්‍ෂාවෙන් මුහුණ දෙන චරිතයකට අවශ්‍ය විදිහට මම මගේ දේවල් හදා ගත්තා.

වැඩ ගොඩක් භාර අරගෙන හිරවෙන්න මම කැමති කෙනෙක් නෙවෙයි. ලස්සන වැඩවලට එකතුවෙලා සංයමයෙන් ගමනක් යන්න තමයි කැමති. මොකද මම කලබල කෙනෙක් නෙමෙයි. ජීවිතේ බොහෝම සංවේදීව දකින කෙනෙක්. වැඩ කරන අවස්ථාවලදී හිත් රිදීමක් වුණත් සද්දේ නැතිව පැත්තකට වෙනවා. ඊට පස්සේ හවස කාමරේට ගිහිල්ලා ඇති වෙනකල් අඬනවා. මේ විදිහට මතක් කර ගන්න බැරි තරමටම මම අඬපු වාර අනන්තයි. අප්‍රමාණයි. නිළියන් වුණහම අනිත් අය වගේ අපට හිත රිදුණා කියලා අඬන්න බැහැ. සාමාන්‍ය ගැහැනු ළමයෙක්ට නම් අඬලා ඒ වේදනවා පිට කර ගන්න පුළුවන්. නමුත් නිළියක් වුණහම හැමදේටම මුහුණ දීලා ඉවසගෙන ඉන්න ඕනි. සමහර දවස්වලට මේ ක්‍ෂේත්‍රය එපා වුණ දවස් තිබුණා. ක්‍ෂේත්‍රයේ ඇති වෙච්ච කලකිරීම් එක්ක ජීවිතේ එපා වෙච්ච දවසුත් තිබ්බා. නමුත් තනියම අඬලා ඒ දුක තුනී කරගෙන ආපහු මුහුණ සෝදගෙන වැඩට යනවා. දැන් ඒක මගේ දින චර්යාවේ කොටසක් බවට පත් වෙලා. මට විතරක් නෙවේ ක්‍ෂේත්‍රයේ අනිත් අයත් මේ ඉරණමට මුහුණ දෙනවා මම දැකලා තියෙනවා.

අපි හිනාවෙලා හිටියට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ දේවල් ඉවසගෙන ඉස්සරහට යනවා. සමහරවිට ඉවසන්න බැරි දවසක් ආවොත් එදාට මේ සියල්ල අත් හැරලා දාන්න ඉඩ තියෙනවා. මොකද මට දෙයක් එපා වුණොත් ඒක එපාම තමා. දරාගෙන ඉවසීමෙන් අල්ලගෙන ඉන්නවා වගේම තමයි, එපා කියලා හිතුණොත් අතඇරලා දානවා. කොහොමටත් හැමදාම ක්‍ෂේත්‍රයේ ඉන්න තරමට මේක මගේ ජීවිතෙන් කෑල්ලක් වෙලා නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment