Life Story

මගේ හෘද සාක්ෂිය මම වැරදි කරපු කෙනෙක් නෙවෙයි කියලා දන්නවා-ජනප්‍රිය සුරූපී නිලි ශලනි තාරකා

රූපවාහිනිය මෙන්ම සිනමාවද ජයගත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නටත් වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම වසර 13කට ආසන්න කාලයක් අද වෙනකොට ඇය ක්ෂේත්‍රයේ බොහෝ නිර්මාණ කටයුතුවලට දායක වෙලා තියනවා. කොහොම නමුත් ඇයට පසුගිය දවස් වල රූපගත කිරීම් සමග සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඇයට කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා. නමුත් මේ වන විට ඇය රෝගයෙන් සුවපත් වෙලා නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් කොවිඩ් වැළඳීමෙන් පසුව ගත කළ කාලය තුළ ඇය දිනපොතක් ලිවීමට පටන් අරගෙන තිබුණා කියලත් ඇය කියනවා. ඒ සමගම මුහුණුපොතේ ඇයට ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් ඉහලයි කියලා තමයි ඇයනම් කියන්නේ. ඉතින් ඇය අද මේ ඉන්න තැන ගැන ඇයට තියෙන්නේ අවංක සතුටක්ලු. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඇයට රංගන ශිල්පිනියක් වීම සම්බන්ධයෙන් කණගාටුවක් හිතුනු අවස්ථාද නැතුවාම නොවෙයි කියලා තමයි කියන්නේ.

බොහෝ දෙනා ඇයට ආදරය කරුණාව දක්වන අතරතුරේ බොහොම සුළු පිරිසක් ඇයට මඩ ගැසීමේ ක්‍රියාවලියක්ද කරගෙන ගියා. මගේ හෘද සාක්ෂිය මම වැරදි කරපු කෙනෙක් නෙවෙයි කියලා දන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ ගල් මුල් ප්‍රහාරවලින් ම ඇය ජීවිතයේ මහත් ශක්තියක් ලබා ගත්තා කියලා තමයි ඇය කියන්නේ. මේ හේතුව නිසාම ඇයගේ රංගන ජීවිතය බොහොම සාර්ථක වුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් නිරෝධායන වන කාලසීමාවේදී ඇය කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට එළඹුණා. ඒ තමයි makeup කියන කෙටි චිත්‍රපටය. මේ වන විට යූ ටියුබ් හරහා එය ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ හැකියාවකුත් තියනවා. නමුත් බොහෝවිට අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්නට ඇය බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා තමයි ඇයනම් කියන්නේ. එයට හේතුව එය පුළුල් මාතෘකාවක් නිසා ඒ සඳහා ගැඹුරින් අධ්‍යනය කළ යුතු නිසයි.

ඉතින් ඇයගේ ජීවිතයේ අනාගත බලාපොරොත්තුව ගැන කතා කරනකොට බොහෝ දේවල් මේ වන විටත් ඇයට ලැබිළලු තියෙන්නේ. රංගන වෘත්තිය තුළ හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන දෙකම මේ වන විට හිමිකරගෙන තිබෙනවා. ඒත් එක්කම පෞද්ගලික ජීවිතය තුළ යහපත් සැමියෙක් සහ දරුවන් සමඟ ගෙවන්නට බලාපොරොත්තුවක් තිබුනත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසන්නේ. ඉතින් මේ දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment