Life Story

ප්‍රවීණ සංගීතවේදී, ගායන ශිල්පි මෙන්ම රංගධර ලක්ෂ්මන් විජේසේකර මහතා දිවි සැරිය නිම කරයි

1948 මාර්තු 14 වැනි දින උපන් ලක්ෂ්මන්ගේ සම්පූර්ණ නම වූයේ රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ද සිල්වා විජේසේකරය. ඔහු ගායන ලොවට පිවිසෙන්නේ ලක්ෂ්මන් විජේසේකර නමිනි. ඉතින් ඒ වගේම ලක්ෂ්මන් සංගීත දිවිය අරඹන්නේ නියම ශාස්ත්‍රීය පදනමකින් යුක්තවයි. රජයේ සංගීත විද්‍යාලයේ ගුරු භවතුන්ගෙන් ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරන අතරම එකිනෙකා නොපරයන දක්ෂතා ඇති පිරිසකගේ සම්භාවනීය ඇසුර ද, දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සමකාලීන මිතුරු පිරිසකගේ සුහදතාවය ද ඔහුට ලැබිණි. ලක්ෂ්මන් රජයේ සංගීත විද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකුව සිටියදී ඔහුට සංගීත ගුරු පත්වීමක්ද ලැබිණි.

කොහොම නමුත් ප්‍රවීණ ගායනවේදී සහ රංගධරයෙකු වන ලක්ෂ්මන් විජේසේකර මහතා අද සවස සිය දිවි සැරිය නිමා කරලීය. අභාවප්‍රාප්ත වනවිට ඔහු 73 වැනි වියේ පසු වූ අතර පසුගිය දිනෙක හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබුණි. ඉතින් ඒ වගේම ඔහු අභාවප්‍රාප්ත රංගන ශිල්පිනී චන්ද්‍රා කලුඅරාච්චිගේ ආදරණීය සැමියාය.

ලක්ෂ්මන්ගේ රංගනය පිළිබඳ සිහිපත් වන විට මතකයට නැගෙන ටෙලි නාට්‍ය බොහොමයකි. ඩී. බී. නිහාල්සිංහයන්ගේ රේඛා මේ අතර ප්‍රධානයි. ඉර පායා, පාට සරුංගල්, ගංගා සහ නිශ්ශංක, දත් කැකුළු පාලා ඇැතුළු ටෙලි නාට්‍ය රැසක ඔහු පසුව රඟපෑවේය. එපමණක් ද නොව ඔහු වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් ද නමක් දිනා ගත්තෙකි. සපතේරු හාමිනේ, පුත්‍ර සමාගම (ජයලත් මනෝරත්න), සිහින සාප්පුව (නීල් අලස්), සෙනෙහෙබර ඩොලී (බන්දුල විතානගේ) වැනි නාට්‍ය ඒ අතර වේ. සිහින සාප්පුව වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ඔහු රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ද දිනා ගත්තේය.

ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස බුමුතුරුණු, ගංගා සහ නිශ්ශංක, පාට සරුංගල්, පස්සෙ ගෙනා මනමාලි, හිම කැටයම්, දේදුනු පාලම ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට සංගීතය නිර්මාණය කළ ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද මෙරට නමක් දිනා ගත්තේය.

දහසක් ගීත නොවූවද ඔහු ගැයූ ගී අතළොස්ස සිය දහසක් ශ්‍රාවක සිත් සතන් තුළ සදාතනිකව නින්නාද වනු ඇත. එදා අද මෙන් හෙට ද ඒ ගීත මෙරට සුභාවිත ගීතයට පූර්වාදර්ශ සපයමින් යළි යළිත් ගැයෙනු ඇත. ඉතින් අද දින දැයෙන් සමුගත් ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.