Life Story

නයිජීරියාවට ගිහින් සම්මානය ලබාගන්නවට වඩා මගේ රටේදී එය මට ලැබීම ආඩම්බරයක්-නිලි නිරංජනී ෂන්මුගරාජා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිරංජනී ෂන්මුගරාජා කියලා කියන්නේ. ඉතාම ආකර්ෂණීය නෙත් සඟලක් සතු ඇය අපේ රටේ සහෝදර ද්‍රවිඩ ජාතික තරුණියක්. නමුත් ඇයගේ මව සිංහල. 2009 වර්ෂයේ ජාතික රූපවාහිනියේ ලන්ච් ටයිම් මියුසික් වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය තවමත් ලොතරැයි වැඩසටහන් නිවේදනයට එක් වෙමින් ඔබේ ආලින්දයට එනවා.

කොහොම නමුත් රටවල් 86ක සිනමාපට 1300කට අධික සංඛ්‍යාවක් අභිබවා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සුනාමි සිනමා නිර්මාණය තුළින් අපේ රටට සම්මාන ද්විත්වයක් ලබාගැනීමට හැකිව තිබෙනවා. ඒ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සෝමරත්න දිසානායක මහතා සහ හොදම නිළිය ලෙස අපි මේ කතා කරන නිරංජනී ෂන්මුගරාජා කලාකාරිණිය සම්මානයට පාත්‍රවෙමින්, ඉතින් මේ ලබාගත් ජයග්‍රහණය ගැන ඇය අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

අපිට ලැබෙන හැම ජයග්‍රහණයක්ම අලුත්නේ. ඒ හැම ජයග්‍රහණයක්ම අලුත් විශ්වාසයක් ඇති කරනවා. ඒ අනුව වගේම ලොකු වගකීමක් ඒ තුළ පැවරිලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ සිනමාව, සිංහල, දෙමළ කියලා වෙන් කරන්න බැහැ. ඉතින් මට මේ ලැබුණු ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලාංකීය සිනමාව තුළ තව ලොකු දෙයක් කරන වගකීමක් පැවරිලා තියෙනවා කියන හැගීමක් මට දැනෙනවා. ඒ වගකීම ඉට කරන්න හරි විදියට ඉදිරියට යන්න ඕනෑ කියන දේ, ඒ සතුට තමයි මට ගොඩක් දැනෙන්නෙ, මේ ජයග්‍රහණය තුළින්.

මේ සම්මාන උළෙල පසුගිය 23 වෙනිදතෙ පැවැත්වුණේ. ඒ නයිජීරියාවේ පැවැති “Bayelsa International Film Festival” එකේදී ඒ වෙනුවෙන් මේ සම්මාන ගේන්න යන්න අපිට හැකිවුණේ නැහැ. අපිට ආරාධනා කරලා තිබුණා. නමුත් රටේ ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක මේ වෙනුවෙන් සම්බන්ධ වෙනවා කියන්නේ ප්‍රශ්නයක්නෙ, නමුත් ඒ රටේ සිට අපේ මව් රටට මේ සම්මාන ඉතා නුදුරේම ලැබෙන්නට සලස්වනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ නිරමාණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිළියට හිමි සම්මාන ද්විත්වය පමණක් නෙමෙයි ලැබුණේ. අපි මේ වෙනුවෙන් සම්මාන 9කට නිර්දේශ වෙලා තිබුණා. හොඳම නළුවා, හොඳම නිළිය, කැමරා අධ්‍යක්ෂණය, ජනතා සම්මානය මේ හැමදේම නිර්දේශ වෙලා තිබුණෙ.

ඇත්තටම ජාත්‍යන්තර සම්මාන උළෙලක මේ විදියට නිර්දේශවීම ලොකු ආඩම්බරයක්. මේ කණ්ඩායමේ හැමෝගෙම දායකත්වය මත තමයි මේ ජයග්‍රණය මට ලබාගන්න හැකිවුණේ. ඉතින් මේ සම්මානයත් අපි හැමෝටම පොදු ජයග්‍රහණයක්. ඉතින් අවාසනාවකට ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක අපිට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ රටට ගිහින් මේ සම්මාන ලබාගන්නවට වඩා ඒ සමාන මේ රටට ලැබුණම මගේ රටේ ඉඳන් ඒ දේ මගේ අතට පත්වීම මට එක්තරා විදියේ ආඩම්බරයක්. වෙනම ගැම්මක්. මොකද මම ඒ සම්මානය ලබාගන්නේ මගේ මේ පොළොව උඩනේ. අපේ රටේ නිළිය හොයාගෙන ඒ සම්මානය ලංකාවට එන්නේ. අපේ රටින් හොයාගෙන ගිහින් නෙමෙයිනෙ. මම කොහොමත් ජීවිතේ හැමදේම ධනාත්මකව හිතන කෙනෙක්. ඒ නිසා ජීවිතේ සිද්ධවෙන හැමදේම ආශීරවාදයක් විදියට හිතන්නේ.

ලංකාවේ නළු නිළියන්ට අත්පොළසන් නාදයයි සම්මානයි තමයි තියෙන ලොකුම සතුට. මොකද අපේ මේ කර්මාන්තය ලොකුවට තියෙන්නේ මුදල් නෙමෙයිනෙ. ඉතින් මුලින්ම මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දි ලොකු බයකින් ආවෙ. මොකද මාව මේ කර්මාන්තයට භාර ගනීද කියන සැකයත් එක්ක. නමුත් මගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලංකාවේ අති දැවැන්ත තරු පිරිස මැදින් මටත් වඩා ගොඩක් දක්ෂ ප්‍රවීන නිළියන් අතරින් හොඳම නිළිය සම්මානයට යන්න හැකිවුණා. ඒ පළමු රංගන නිර්මාණයෙන්ම. මට ඒ දේ අදටත් පුදුමයි. ජනතාව මේ තරම් ආදරයකින් මාව වැළඳගත්තද කියන දේත් පුදුමයක්. ඉතින් ඒ ආරම්භයේ පටන් මට මේ වෙද්දි හොඳම නිළිය සම්මානය තෙවරක් සහ හොඳම සහය නිළිය සම්මානය එක් වරක් ලබාගෙන තියෙනවා.

ඉතින් මේ හැමදේම එක්ක මගේ තවත් සිනමා නිර්මාණ පහක් තිරගත වෙන්න සුදානම්ව තියෙනවා. මේ සියල්ලත් එක්ක මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි අපේ රටේ ජනාධිපති සම්මාන උළෙලක සම්මානයක් ලබාගැනීම, දෙස් විදෙස් සම්මාන ලබාගත්තට ජනාධිපති සම්මාන උළෙලකින් මගේ නම නිර්දේශ වෙනවානම් හෝ මට ඒ වටිනාකම ගොඩක් දැනෙයි. මොකද මගේ රට ඇතුළේ ලැබෙන විශිටම සම්මානය ජනාධිපති සම්මානය කියන දේ මට දැනෙන්නෙ. ඒ දේ තමයි මගේ ලොකුම අරමුණ සහ බලාපොරොත්තුව කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.