Life Story

තැන තැන කුණු දාලා අපේ සුන්දර ලංකාව විනාශ කරන්න එපා-නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පොඩ්ඩි

නිම්මි මනෝහාරි කියනවාට වඩා බොහෝ දෙනෙක් ඇයව හදුනන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ පොඩි දුව කියලා කිවුවාමයි. ඉතින් ඒ වගේම නවක නිලියන් අතරේ කැපී පෙනෙන ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් විදිහටත් නිම්මිව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇවිදින්න ආස තැන් ගැන වගේම ඇයගේ ජීවිතේ සුන්දර මතක අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මම ඇත්තටම ට්‍රැවල් වලට ප්‍රියකරන කෙනෙක්. ට්‍රැවල් කියන්නේ මම ගොඩක් ආස දෙයක්. හැබැයි රටේ පවතින තත්ත්වය එක්ක, අවුරුදු 2 කින් ඇවිදින්න යන්න බැරිවුණා. මට නොතේරෙන කාලේ මගේ අත්තම්මා මාව හැමතැනම එක්කන් ගිහින් තියෙනවා. යන්න කොහෙද කියලාවත් දන්නේ නැති කාලයේ. නමුත් ට්‍රැවල් කියන දේට ආස හිතුනේ A/L වලින් පස්සේ. මම හරි ආසයි නුවරඑළිය පැත්තට යන්න.

මම ඉපදුණේ හැදුණේ වැඩුණේ නුවර. ඉතින් නුවරයි නුවරඑළියේ අතරයි දේශගුණයේ ලොකු වෙනසක් නෑ. නුවර අව්වට හුරුපුරුදු මට රස්නේ පැතිවලට ලොකු කැමැත්තක් නෑ. මට තියෙන ලොකුම ගැටලුවක් තමයි ට්‍රැවල් කරද්දී සාමාන්‍යයෙන් දවස් 2ක් වත් යනකන්වත් මට කැරකිල්ලයි ඔළුවේ කැක්කුමයි නම් තියෙනවා. මම ඉතින් ගෙදර කට්ටියත් එකකත් යනවා, යාළුවන් එක්කත් යනවා. එහෙම විශේෂයක් නෑ. හැබැයි ඉතින් වැඩිපුර විනෝද වෙන්නේ යාළුවොත් එක්ක ගියහම තමයි. අපේ ජීවිත හරිම ඒකාකාරියි. වැඩට යනවා ගෙදර එනවා. හරිම කාර්යබහුලයි. ඉතින් ඒ අතරමැද ඇවිදින්න යනවා කියන්නේ මනසට ලොකු සැහැල්ලුවක්. ලස්සන තැන් දැකබලා ගන්න ලැබෙනවා. ඒ වගේම සුන්දර මතකයන් ජීවිතේට එකතු වෙනවා.

මම තව යන්න ආස තැනක් තමයි යාපනේ. අපේ ගෙදර අය නම් ගිහින් තියෙනවා. නමුත් මම ගිහින් නෑ. පාසල නියෝජනය කරලා තරගාවලියකට සහභාගි වෙන්න ත්‍රිකුණාමලේ යන්න වුණු නිසා ගෙදර අයත් එක්ක මට ඒ ගමනට යන්න බැරි වුණා. ඉතින් පොඩ්ඩක් අව්ව තිබ්බට යාපනේ යන්න මට ආසයි. මට ආසයි යුද්ධයෙන් පස්සේ ඒ මිනිසුන්ගේ ජන ජීවිතය, ජීවන රටාව දැක බලා ගන්න. යාපනයේ තියෙනවානේ ඉතින් විශේෂ ස්ථාන කිහිපයක්ම. ඒවා බලන්න මම හරි ආසයි. දෙමළ ජනයාගේ ජීවන රටාවට මම ගොඩාක් ආසයි. මම ආසයි ඇස් දෙකෙන් දැකබලා ගන්න තියෙනවා නම්, එයාලා තවමත් එයාලගේ සංස්කෘතිය සමඟ ජීවත් වෙනවාද කියලා. අපි ටීවී එකෙන් නාට්‍යවලින්, ෆිල්ම්වලින් දකින යාපනේමද තියෙන්නේ කියලා දකින්න ආසයි. ඉතින් ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා ට්‍රැවල් කරාට කමක් නෑ. ඕනේ තරම් ට්‍රැවල් කරන්න. හැබැයි ලංකාවේ තියෙන සුන්දරත්වය නැති කරන්න එපා. ගිහිල්ලා තැන තැන කුණු කසල දාලා අපේ සුන්දර ලංකාව විනාශ කරලා දාන්න එපා. යන්න, විඳින්න, බලන්න නමුත් එය ආරක්ෂා කරගන්න තව කෙනෙකුට එහි සුන්දරත්වය විඳින්න ඉතුරු කරන්න කියලයි මේ සුන්දර රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment