Life Story

කොච්චර බාධා ආවත් එක අඩියක්වත් පස්සට ගත්තේ නෑ-ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි

අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි භාතිය ජයකොඩි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේකම, අපේ හඬ ජාත්‍යන්තරයට රැගෙන ගිය තම සහජ හැකියාවෙන් ලොවක් මවිත කළ කලාකරුවන් අතලොස්ස අතර ඔහු ද ඉදිරියෙන්ම සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියා ඔහුගේ කළා ගමන ගැන අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. අපේ වෘත්තීය ගමන ආරම්භ වන්නේ 1998 වසරේදී. 1999 වසරේ සිට මේ දක්වාම නිර්මාණය කළ සෑම ගීතයකින්ම, සෑම ඇල්බමයකින්ම, සෑම ප්‍රසංගයකින්ම නොඅඩුව ආදරයක් ලැබුවා. මිනිසුන් අපිව අනුකරණය කළේ අඳින පළඳින විදිහෙන් නෙවෙයි. අපේ හඬ අනුකරණය කරලා කියලානම් නිතර දක්නට ලැබුණා.

මම ඉතිං පුංචි කාලේදී වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙනවා කියලා කියපු අවස්ථා තිබුණා. නමුත් යටි හිතේ හැමදාම දෝංකාර දුන්නේ ගායන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා. නමුත් එදානම් හිතුවේ නෑ. කවදාවත් මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. කෙසේ නමුත් පාසල් අධ්‍යාපනය අවසන් කරනකොට ගායන ක්ෂේත්‍රයෙන් යමක් කළ යුතු බවට තීරණය කරලා අවසන්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ භාෂාව ඇතුළේ යමක් කරන්න කලින් බොහෝ දේ ගැන අවධානය යොමු කරන්න වුණා. අධ්‍යාපනය, හැදෑරීම, රසිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම වගේම ඉදිරිපත් කළ යුතු විලාසයක් ගැන පවා අවධානය යොමු කරලයි නිර්මාණ කටයුතු කළේ. අනෙක් ප්‍රධානම දේ තමයි අපට අප ගැන තිබූ විශ්වාසය. විශේෂයෙන්ම යමක් කළ හැකි වගේම කරන දේ නිවැරදිව කරනවා කියන ආත්ම විශ්වාසය.

සංතුෂ් වීරමන් මා දකින්නේ මගේ ජීවිතයට ලැබුණ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට. BNS කියන සන්නාමය අද ජාත්‍යන්තරය පවා දන්නේ අපි දෙන්නාගේ සුසංයෝගයෙන් කළ නිර්මාණ නිසා. ඔහු නිසා මටත්, මා නිසා ඔහුටත් වටිනාකමක් එකතු වුණා වගේම, අපි දෙන්නාටම එකතු වෙලා ලංකාවට වගේම, ලෝකයට වටිනාදෙයක් කරන්න පුළුවන් වුණා. එය තමයි අපි ලැබූ ජයග්‍රහණය. වාසනාව ගැනනම් මම ලොකුවට හිතන්නෑ. වාසනාවන්තයි කියලා හිතාගෙන අත්දෙක බැඳගෙන පැත්තකට වෙලා හිටියොත් ඇත්තටම සිද්ධ වෙන්නේ තියන දේවලුත් නැතිවෙලා යන එක. ඒ නිසා මම හිතනවා වාසනාව ළඟා කර ගන්න නම්, අපි අපේ දක්ෂතාවයෙන් වැඩක් කළ යුතුයි. කරන වැඩේ සැලසුමකට අනුව නිවැරදිව කරන්න ඕනේ. එහෙම වුනොත් වාසනාව කියන දේ ජීවිතයට ආශීර්වාදයක් කර ගත හැකියි.

ජීවිතේ වැරදුනු තැනුත් ඕනෑ තරම් තිබෙනවා. වෘත්තීය ජීවිතය පටන් ගත්තේමත්, පටන් අරං මේ තරම් දුර ගමනක් ආවේ මත් මල් ඇතුරූ මාවත් වල නොවේ. ආපු හැම ප්‍රශ්නයක්ම, ආපු හැම බාධාවක්ම, ඉදිරි ගමනට ආශීර්වාදයක් කර ගත්තා හැරෙන්න එක අඩියක්වත් පස්සට ගත්තේ නෑ. මොනයම් හෝ වෘත්තියකින් ඉදිරියට යන විට අපිට ආදරය කරන පිරිසක් වගේම අපට විරුද්ධව නැගී සිටින පිරිසක් නිර්මාණය වෙනවා. මල් මාලා වැටෙන අතරේ ගල් මුළුත් වැටුණු අවස්ථා නැතුවාම නොවේ. ඒ දේවල් ඒ විදිහටම මටත් ලැබුණා. අදටත් ලැබෙනවා. තමන්ගේ අනන්‍යතාවයෙන් නමක් ගොඩනගා ගන්න ඕනෑම කෙනෙකුට අත්වන පොදු ධර්මතාවයක් එය. අපේ රටේ පමණක් නොවේ ලෝකයේම තත්ත්වය එයයි කියලයි මේ දක්ෂ ගායන ශිල්පියා අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment