Life Story

කටකාර චරිත වලට තමයි මම ගොඩක්ම ආස-කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය පුංචි නිලි පහන්දි නෙතාරා

පහන්දි නෙතාරා කියනවාට වඩා මේ පුංචි රංගන ශිල්පිනියව ගොඩක් අය දන්නේ බට්ටිච්චි කිවුවාමයි. මේ දවස් වලනම් ඇයව ගොඩක්ම හදුනන්නේ සිරස නාලිකාවේ විකාශනය වන කියා දෙන්න ආදරේ ටෙලිකතාවේ මිනායාගේ චරිතය නිසා මිනා විදිහටයි. ඉතින් ඒ වගේම මේ දිනවල විකාශනය වන සකර්ම සහ අඳුන්ගිර ටෙලි නාට්‍ය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් චිත්‍රපට වලින් මෙන්ම ටෙලිනාට්‍ය රැසකින්ම අපිට දකින්න ලැබුණේ මේ පුංචි රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

මගේ නම පහදි නෙතාරා. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි. තාත්තා රසික චතුරංග. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා තමාලි රනෝජා, අම්මා ගෘහණියක්. අයියා විහග මනෝද්‍ය, මගේ වයස අවුරුදු අටයි. මම රත්නපුර ජේ.එම්.සී. ජාත්‍යන්තර පාසලේ 3 වසරේ ඉගෙන ගන්නවා. මට ගෙදරටම වෙලා ඉඳලා එපා වෙලා හිටියේ. දැන් ඉස්කෝලෙ පටන් ගත්තානේ. ඉතින් මන් ඉස්කෝලේ යනවා. ඒවත් එක්ක රූ ගතකිරීම් වැඩ කටයුතුත් කරනවා.

ඇත්තටම මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මම පුංචි කාලේ වෙඩින් එකක මල් කුමාරිට ගියා. එතකොට අසංක කියලා මාමා කෙනෙක් මාව දැකලා වෙළඳ දැන්වීමට දෙන්න පුළුවන් ද කියලා අම්මාගෙන් මාව ඉල්ලලා තියෙනවා. ඒ විදිහට මම මුලින්ම කැමරාවක් ඉස්සරහට ආවේ අවුරුදු තුනේදී. වෙළඳ දැන්වීම් ගොඩාක් කළා. ඒ අතරේ තමයි මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මුලින්ම දෙරණ නාලිකාවේ විකාශය වුණු රාවණා ටෙලි නාට්‍යයේ මන්දෝදරී කුමාරියගේ පුංචි කාලේ චරිතය මට කරන්න අවස්ථාව ලැබුණා. එතැනින් පස්සේ, අමාලියා, සංඝටන, සේලි, දාම් ටෙලි නාට්‍ය කීපයකට දායක වුණා. මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම්, සකර්ම, අඳුන්ගිර ටෙලි නාට්‍ය තුනෙන්ම මම රංගනයෙන් දායක වෙනවා.

මම රඟපාන්න එනකල් මට රඟපාන්න පුළුවන් කියලා දැනන් හිටියේ නැහැ. ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලා මට ගොඩක් දේවල් කියලා දෙනවා. කටකාර චරිත වලට තමයි මම ගොඩක්ම ආස. ගොඩක් ටෙලිනාට්‍යවලට ලැබුණු චරිත එකිනෙකට වෙනස්. වැඩ කරන පිරිස වෙනස්. ඒ හැම තැනකින්ම මට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.

ඇත්තටම මේ දවස් වල මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට දැන් කතා කරන්නේ මිනායා කියලා. මම අධ්‍යාපනය හදාරන පාසලෙනුත් රඟපෑම් කටයුතු කරන්න ලොකු සහයෝගයක් දෙනවා. මගේ පාසලෙනුත් මගේ රංගන දක්ෂතාවලට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ප්‍රතිචාර එක්ක මට තවත් රඟපාන්න ආස හිතෙනවා.

මට ලැබෙන නිර්මාණවල රඟපානවද? නැද්ද? කියලා තීරණය කරන්නේ මගේ අම්මා. හොඳම නිර්මාණයක් ලැබුණොත් විතරයි අම්මා මාව එක්කගෙන යන්නේ. අම්මා නිතරම කියන්නේ ෂූටින් අංක දෙක ඉගෙනීම අංක එක කියලා.

මට චිත්‍රපටිවලිනුත් ගොඩක් ආරාධනා ලැබෙනවා. ගොඩක් දෙනෙක් මාව අඳුර ගත්තේ ගෝරි චිත්‍රපටය එක්ක. අදටත් මගතොටේ දී හම්බවුණාම සමහරු පොඩි බේබි කියලා තමයි කතා කරන්නේ. ඒ වෙනුවෙන් හරි උඩකන්ද මාමාට ගොඩක් ස්තූති කරනවා. පළවෙනි චිත්‍රපටයේ රඟපෑම දකිද්දී සතුට වැඩිකමට ඇඬුනා. මට වඩා ඒ සතුටට ඇඬුව්වේ මගේ අම්මයි, තාත්තයි.

ඉතින් ඒ වගේම ගොඩක් පාසල් වැඩ අතපසුවීම් වෙනවා. ඒත් ගුරුවරු, පාසලේ යාළුවෝ මට අතපසු වෙන පාඩම් වැඩ මට කරගන්න ලොකු සහයෝගයක් දෙනවා. මට දැනට තියෙන එකම බලාපොරොත්තුව හොඳට ඉගෙන ගන්න එක. ලොකු වෙලා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න තමයි ආස කියලයි මේ පුංචි රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පැවසුවේ.