Life Story

ආදරය කියන්නේ හිමිවීමම නෙවෙයි, මට හැමදේම දවසකින් අමතක කරන්න පුළුවවන්-සුරූපී නිලි දුෂේනි මියුරංගි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න අහිංසක නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් රංගන ක්ෂේත්‍රයේ කාලයක් පේන්න හිටපු නැති දුෂේනි මියුරංගි ඔන්න දැන් අලුත් ටෙලි නිර්මාණයකින් මේ දවස්වල පේන්න ඉන්නවා. අවුරුදු කිහිපයක නිහැඬියාවකින් පසු අලුත් ආරම්භයක් තබපු දුෂේනි, ඇගේ නිහැඬියාව හා අලුත් තොරතුරු ගැන කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

සැබෑ ජීවිතයේ මම හරිම ලැජ්ජාශීලි කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ ස්ටේජ් එකට නගින්නත් බයයි. අදටත් සැබෑ ජීවිතේ මම පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්නවා. යාළුවෝ ගොඩක් මට නැහැ. ඉතින් ඒ වගේම මේ දවස්වල මට ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රථම වතාවට තමයි මම ප්‍රේක්ෂකයන්ගෙන් මේ තරම් ආදරණීය ප්‍රතිචාරයක් ලබන්නේ.

මම පසුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. අවුරුද්දක් විතර හිටියේ ඉන්දියාවේ. කොරෝනා ප්‍රශ්නය නිසා තමයි මෙහෙට හිරවුණේ. මම දවස් දෙකකට විතර තමයි ලංකාවට ආවේ. තාම මගේ ඇඳුම් ඉන්දියාවේ. එක පාරටම රට වහලා එයාපෝර්ට් වැහුවනේ. ඉතින් මාවත් ලංකාවේ හිර වුණා. ඊට පස්සේ සද්ද නොකර මාස හයක් විතර ගෙදරට වෙලා නිදහසේ හිටියා.

ඇත්තටම දැන්නම් ලංකාව දාලා යන්න දුකයි. මමත් මනුෂ්‍යයෙක්. හිතාගන්න බැරි ආදරයක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. ඒ නිසා තීරණය කළා ලංකාවෙත් ඉන්දියාවෙත් දෙපැත්තෙම වැඩ කරන්න. දැන් භාර අරගෙන තියෙන වැඩ ඉවර කරලා තමයි ඉන්දියා යන්නේ. කොහොමත් හැමෝම දන්නවා දුෂේනි භාරගත්ත වැඩක් අතහැරලා නතර කරලා අනිත් අය අමාරුවේ දාලා යන කෙනෙක් නෙවේ කියලා.

කාලෙන් කාලෙට එන ප්‍රශ්නත් එක්ක මිනිසුන්ගේ හිත් වෙනස් වෙනවා. මටත් විවිධ හේතු බලපෑවා ලංකාව දාලා යන්න. එකම තැන පල්වෙනවාට වඩා අත්හදා බැලීම් කරන්න මම කැමතියි. ඒකයි ලංකාවෙන් ගියේ. මම ඉපදිලා තියෙන්නේ මාතර. හැබැයි දැන් පදිංචි වෙලා ඉන්නේ කුරුණෑගල.

ඒ ගම මාර සුන්දර පැත්තක්. අම්මයි මමයි මල්ලියි ගෙවන්නේ සුන්දර ජීවිතයක්. සුන්දර පරිසරයක් තියෙන ගමක ඉපදෙනවා කියන්නේ වාසනාවක්. බොහෝම නිදහස් නිස්කලංක ළමා කාලයක් මම අත්වින්දා. නමුත් මම උසස්පෙළ කරලා ඉවරවෙලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න කොළඹට එනවා. මම තෝරාගත්තේ ගණකාධිකාරී වෘත්තිය.

මම නිළියක් වුනේ තාත්තගේ කැමැත්තක් සහ හීනයක් නිසා. තාත්තාගේ හිතේ තිබුණේ මාව රූපරැජිනක් කරන්න. මිස් ශ්‍රී ලංකා තරගයට ඔහු ඉල්ලුම් කරන්නේ දුව රැජිනක් කරන්න බලාගෙන.

ඇත්තටම මම දෙයක් හොයාගෙන යන්න උත්සාහ කළාම වෙනත් දෙයක් මාව හොයාගෙන ආවා. ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉදිරිපත් වෙලා අවසාන දොළොස් දෙනාට ආවට පස්සේ රංගන ක්ෂේත්‍රය මාව හොයාගෙන ආවා. ඊට පස්සේ 2017 මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබුණා. එම ජයග්‍රහණයෙන් පසු ලෝක රූ රැජන තරගය සඳහා ලංකාව නියෝජනය කළා.

එතැනදී තමයි මම බොහෝ දේවල් ඉගෙනගත්තේ. චීනයේ මාස දෙකක් හිටියා. නිරූපණය ගැන කලාව ගැන ඉගෙන ගත්තා. අත්දැකීමෙන්ම තමයි ශක්තිය ලැබෙන්නේ. මම වැටුණාම දන්නවා ඒකේ තියෙන අමාරුව. මට වැරදුනේ කොතැනද කියලා ප්‍රායෝගිකව මට දැනුණනෙ. ඉතින් ඒ වරැද්ද මම ආයේ කරන්නේ නැහැ. මම වැටෙන්න කැමතියි. වැටුණු තැන තමා මගේ ජයග්‍රහණයේ ආරම්භය වෙන්නේ.

මම 2015 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා ඉදිරිපත් වෙනවා. නමුත් ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ 2017 වර්ෂයේ මම ඒ ජයග්‍රහණය හිමි කරගන්නවා. එදා මම පැරැදිලා අයින් වුණානම් අද මෙතැන නැහැ. මම කැමති දේ ලැබෙනකම් මට නින්ද යන්නේ නැහැ. ඒ වෙලාවට කිසිම කෙනෙක් කියන දෙයක් මට ඇහෙන්නෙත් නැහැ.

ඉතින් ඒ වගේම මම හරිම ආදරණීය කෙනෙක්. සිතින්වත් කිසිම කෙනෙක්ට වෛර කරලා නැහැ. මගෙන් වෙන්වෙලා ගිය කෙනෙක්ට වුණත් යහපත් ජීවිතයක් ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නේ. මම ආදරේ කරලා තියෙනවා. වෙන්වෙලා තියෙනවා. කොහෙවත් කියලා නැහැනේ ආදරේ හිමිවිය යුතුමයි කියලා. අහිමි වීම් තියෙනවා. ඒ අය ඒ අයගේ ලෝකවල සතුටින් ඉන්න ඕන. මම ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එහෙම කෙනෙක්ව මට දවසකින් අමතක කරන්න පුළුවවන් කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.