Celebrity Gossip

මේ වසර 36 ඇතුළත මට චිත‍්‍රපට ගොඩාක් ලැබිලා නෑ ඒත් රසිකයන්ගේ හදේ රැඳෙන චරිත මම කරලා තියෙනවා – යශෝධා විමලධර්ම

යශෝධා විමලධර්ම කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්ත රංගන පෞරුෂයක්. ඇයගේ රංගනය තුළ ඇති අධි තාත්වික බව සහ අභිනයන් නිසාම සම්භාව්‍ය ගණයේ බොහෝ සිනමා නිර්මාණ තුළත් ටෙලි නිර්මාණ තුළත් වේදිකා නාට්‍යය නිර්මාණ තුළත් ඇයව දැක ගන්නට පුලුවන් වෙනවා. මීට වසර කිහිපයකට පෙර සමනල සංධ්වනිය සිනමා නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ අතිශය පැසසුමට ලක්වීමට හැකියාව ලැබුණු ඇයට මෑත කාලීනව ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වු තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය ඔස්සේත් අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් අද අපි මේ අග්‍රගන්‍ය රංගන ශිල්පිනිය පිළිබඳව කතා කරන්නට සිතුවා. පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළ දී ඇය පිළිබඳ විස්තර සහ ඇයගේ අදහස් පිළිබඳව කතිකාවතක නිරත වුණේ මේ විදිහට.

මේ දිනවල දී ඇය සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු වල නිරත වන අතර ඉතා අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙන් හදිසියේම එම කටයුතු නවතා තැබීමට සිදු වී ඇති බව ඇය එහිදී කියා සිටියා. ඒ ජැක්සන් ඇන්තනි මහත්මාගේ හදිසි අනතුර හේතුවෙනි. ඉතින් ඇය එහිදී එම අග්‍රගන්‍ය කලාකරුවාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් අමතක කළේ නැහැ. ඇය මේ වන විට රංගන දිවියට පිවිසිලා දශක තුනකටත් වඩා වැඩියි. ඉතින් ඒ පිළිබඳව ඇය කියා සිටියේ මේ වගේ දෙයක්.

‘මම අසූව දශකයේ අගභාගයේ සිනමාවට පිවිසෙද්දි සිනමා කර්මාන්තය කොපි චිත‍්‍රපට නිසා වැටිලා තිබුණේ. අපේ පරපුර අනූව දශකයට අයත් වුණ නිසා කර්මාන්තයේ ස්ථාපිත වෙලා රැුඳිලා ඉන්න පුළුවන් වුණා. මේ වසර 36 ඇතුළත මට චිත‍්‍රපට ගොඩාක් ලැබිලා නෑ. හැබැයි විශේෂ චරිත ලැබුණු නිසා ඒවා රසිකයන්ගේ හිතේ රැදිලා තිබෙනවා. මගේ කුසලතාව මීට වඩා පෙන්විය හැකි අවස්ථා උදා වුණේ නෑ. සිංහබාහු චිත‍්‍රපටයට වුණත් මම සහභාගී වන්නේ සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවී චිත‍්‍රපටයෙන් වසර 10ට පසුවයි. ඒ අතර ටෙලිවිෂනයේ යම් යම් චරිත කීපයක් කළා පමණයි. ඒත් රංගන ශිල්පිනියක් ලෙස මගේ කූටප‍්‍රාප්තියට පැමිණිය යුතු කාලය මේ ගෙවෙන්නේ.’

ඒ වගේම රංගනය පිළිබඳව ඇය දරන අදහස විමසූ කල ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්…

‘සමහරු දන්නේ නෑ ඇත්තටම රංගනය කියන්නේ කුමක්ද කියලා. සමහරු හිතනවා රංගනය කියන්නේ සාමාන්‍ය ජීවිතයමයි කියලා. එයට හේතුව ශිල්පියාගේ රංගනය සාර්ථක වීම. රංගන ශිල්පියෙකුගේ කාර්යභාරය තව කෙනෙකුගේ සිතුම් පැතුම්, ආත්මය තුළට රිංගීමයි. එහෙම නැතිව ඒ කෙනාට අදාළ ඇඳුම් ඇඳගෙන දෙබස් කීම පමණක් නෙවෙයි. එය සුවිශේෂී වගකීමක්. හැමෝටම කළ නොහැකි කාර්යභාරයක්. මගේ විශ්ලේෂණයට අනුව අපේ සමාජය නියෝජනය කරන වෙනස් චරිතයක් තමයි රචකයා අතින් ලියැවෙන්නෙ. එයට ආත්මගත වෙනවා කියන්නේ වෙනම ආරූඪ වීමක්. ඒ සඳහා ලොකු බුද්ධියක් සහ දැනුමක් තිබිය යුතුයි. අධ්‍යයනයක් අවශ්‍යයයි. ඒ චරිත දැක තිබීමත්, සමාජය පිළිබඳ ලොකු නිරීක්ෂණයකුත් අවශ්‍යයි. ඒ සියල්ල සමඟ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන දේ පමණක් නොවේ අපි ඒ චරිතයට අපේ කොටසකුත් දායක කරමින් ජීවය දීමට ඇතුළාන්තය තේරුම් ගෙන ඒ තුළ ජීවත් වීමයි කෙටියෙන් කීවොත් රංගනය කියන්නෙ.’

මෙවැනි බොහෝ කරුණු එම මාධ්‍ය සාකච්ඡාව තුළ දී කියා සිටියා. ඉතින් කලා කෙත අස්වද්දන මෙවැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියන් සැබවින්ම කලා ලොවට ගෙන එන්නේ මහත් ආශිර්වාදයක්. ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.