Celebrity Gossip

මේ වසර 10 තුළ මට ලැබුණු චරිත ගැන මම සෑහීමකට පත්වෙන්නේ නෑ – ගීතිකා රාජපක්ෂ

ගීතිකා රාජපක්ෂ කියනවාටත් වඩා ඇයව මේ දිනවල දී කවුරුත් අමතන්නේ නදී කියන නමින්. ඒ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන මීනු ටෙලිනාට්‍ය තුළ ඇය රඟදක්වන නදී කියන චරිතය නිසයි. සැපේදි පමණක් නොව දුකේදීත් පිහිටවන කල්‍යාණ මිතුරියකගේ චරිතය හරි අපූරුවට නිරූපණය කරන ඇය the game සිනමාපටය හරහාත් අපට දැකගන්නට පුළුවන් වනවා. ඉතින් පසුගිය දිනකදී ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එක්වන අතර එහිදී ඇය පැවසූ දේ පිළිබඳව ඔබ වෙත ගෙන එන්නට අප සිතුවා.

The game කියලා කියන්නේ ඇයගේ කුළුදුල් සිනමා අත්දැකීම. සුරංග ද අල්විස් මහතාගේ අධීක්ෂණයක් වන එය රංජන් රාමනායක වටා ගෙතුනු අපූරු කතාවක් බව තමයි ඇය කියා සිටින්නේ. ඒ වගේම මේ දවස් වල ඕස්ට්‍රේලියාවේත් මේ සිනමාපටය විකාශය වන බවත් රංජන් රාමනායක සමඟ රඟපෑම් කටයුතු කිරීමට ලැබීම ලොකු සතුටක් බවත් ඇය කියා සිටිනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා ඇය මේ දිනවල මීනු ටෙලිනාට්‍ය යේ නදී කියන චරිතයට පණ පොවන බව. ඉතින් ඇයට එම චරිතය දැනුන විදිහ ගැන ඇය කියා සිටින්නේ මෙවැන්නක්.

‘ නදී කියන චරිතය කරද්දි මට සමහර තැන් වල ලොකු විශේෂයක් දැනුනා. මොකද ශලනි සහ මම ඇත්ත ජීවිතයෙත් හොඳම යාළුවෝ. සතුට දී වඩා දුකේදී අපි එකා වගේ ඉන්න අය. අපිට සමහර යාලුවෝ ඉන්නවා නේ ජීවිතය වැටෙන්න හදපු හැම තත්පරයකදීම හිතට හයිය අරන් දෙන අතාරින්නෙ නැති යාලුකම්. ඒ වගේ යාළුකමක් තමයි සැබෑ ජීවිතයේ ශලිනි සහ මම. පුංචි තිරේ නදී සහ අසේකා විදිහටත් ඒ සහෝදර බැඳීම නිරූපණය කරන්න ලැබුණු එක ගැන සතුටුයි. සැබෑ ජීවිතයේ ශලනිත් මට නදී වගේ යාලුවෙක්.

මම දැන් කලා ජීවිතයට ඇවිල්ලා වසර දහයක් වෙනවා. මේ ගෙව්න වසර 10 තුළ මට ලැබුණු චරිත ගැන මම සෑහීමකට පත්වන්නේ නැහැ. දෙයක් කරන්න තියෙන චරිත ලැබුන මට අතලොස්සයි. මට ලැබුණු චරිත අතරින් කිහිපයක් පමණක් තෘප්තිමත් වෙන්න පුලුවන් චරිත තියෙන්නෙ. නමුත් මට රංගන ශිල්පිනියක් විදියට ඊට වඩා දෙයක් කරන්න පුලුවන් කියන විශ්වාසේ තියෙනවා. රංගන ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් යම් යම් තැන් තියනවා නැතුවාම නෙමෙයි. නමුත් සමස්ථයක් විදිහට බැලුවොත් මට කරන්න ලැබුණු චරිත ගැන සෑහීමකට පත් වන්නේ නෑ. ඒ කොහොම වුණත් මගේ මුළු ජීවිතේම බැඳිලා තියෙන්නෙ රංගනය එක්ක. ‘

ඒ විදිහට තමයි ඇය එහිදී කියල තිබුණේ. ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගෙ සියලුම වැඩ කටයුතු ඇය සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.