Celebrity Gossip

ජීවන අරගලය දරාගන්න බැරුව කාර් එක විකුණුවා දැන් ඒ සල්ලිත් ඉවර වේගන එන්නේ

සුමනා අමරසිංහ කියන්නේ එකල රිදී තිරය ආලෝකමත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. 1975 වසරේ දී රූගත කිරීම් සිදු කළ සූකිරි කෙල්ල චිත්‍රපටයේදී මනාලියක ලෙසින් සැරසුණු සුමනා සැබෑ ජීවිතයේ රෝයිගේ මනාලිය වූයේ ද එදිනයි. සිනමා වංශ කතාවේ මෙලෙස සිදු වූ පළමු මංගල උත්සවය මෙය වන්නට ඇත. රෝයි ද සිල්වා සමගින් ඉතාමත් සතුටින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ සුමනා අමරසිංහ මේ වන විට තනිකඩව හුදකලා දිවියක් ගත කරනවා. ඒ මීට වසර දෙකකට පෙර හෘදයාබාධ රෝග තත්ත්වයක් හේතුවෙන් රෝයි ද සිල්වා මහතා අප අතරින් සදහටම සමුගත් බැවිනි. ඉතින් පසුගිය දිනකදී පැවැත්වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇය පිළිබඳව බොහෝ දේ රසිකයා සමග පැවසුවා. ඇගේ සහ රෝයිගේ ආදර කතාව පිළිබඳව ඇය පැවසුවේ මෙවන් දෙයක්.

‘බැරිසිල් ඔපෙරාව ඇසුරින් නිර්මාණය වූ එල්.එම්. පෙරේරාගේ ‘හතර පෙරළිය’ චිත්‍රපටයේදී තමයි මට රෝයි ප්‍රථම වතාවට මුණ ගැසුණේ. රෝයි සමඟ රඟ පෑ ප්‍රධාන නිළිය පෙර පුහුණුවට නොපැමිණි නිසා මට සිද්ධ වුණා රෝයි සමඟ ප්‍රධාන නිළිය වෙනුවට රිහසල් කරන්නට. හතරපෙරළියේ මට එල්.එම්. පෙරේරාගේ පෙම්වතිය. එහෙත් මම දිගටම රිහසල් කළේ රෝයි එක්ක. රෝයි දුටු මොහොතේ ඉඳලා මගේ හිතේ එයා කෙරෙහි ඇතිවුණේ ආදරණීය බැඳිීමක්. ඒ ආදරය මට පමණක් නොවෙයි රෝයිටත් ඒ වගේම දැනුණා. හතර පෙරළියේ දලුලා වැඩුණු අපේ ආදරය සුකිරි කෙල්ල සමඟ දිවි තිබෙන තුරා ඔහුගේ ආදරණීය බිරිඳ ලෙස නීතිය ඉදිරියේ ගිවිස ගත්තා.’

වසර 40ක් පුරාවට ම සිංහල සිනමාවට මහඟු දායකත්වයක් දැක්වූ සුමනා අමරසිංහ මහත්මිය තවමත් ජීවත් වන්නේ කුලී නිවසකයි. ඔවුන් දෙදෙනා රංගන දිවියෙන් උපයා ගත් සියලුම මුදල් ඔවුන්ට ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වුනා. මේ වනවිට ඇය ගත කරනු ලබන්නේ දුක්ඛිත ජීවිත අරගලයක්. ඉතිං ඒ පිළිබඳව ඇය පවසා සිටියේ මෙවැන්නක්.

‘අපි දෙන්නා හරි හම්බ කරගත් මුදල් එක්තරා මුල්‍ය ආයතනයක තැන්පත් කළා. ඒ මුල්‍ය ආයතනය අපි තැන්පත් කළ මුදල අපට ලබා නොදී මඟ හැරියා. අපි හරි හම්බ කරගත් මුළු මුදලම දැන් අපට අහිමි වෙලා. අපට මුදල් ලබා නොදීම ගැන රෝයි ඉතාමත් කනස්සල්ලෙන් වේදනාවෙන් ජීවත් වුණේ. රෝයි මානසිකව කඩා වැටුණා. කොපමණ වාරයක් මුදල් ඉල්ලුවත් ලබා දුන්නේ නැහැ. ඒ වේදනාව දරාගන්නට බැරුව තමයි රෝයි හෘදයාබාධයක් හැදිලා හදිසියේ මිය ගියේ. රෝයිගේ ආත්මය වෙනුවෙන් දානයක් පිංකමක් කරන්නට අවශ්‍ය මුදල්වත් මේ මුල්‍ය ආයතනයෙන් අපට ලබාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අපි මැරුණට පස්සේ මුදල් ලැබිලා මක් කරන්නද?

රෝයි සහ මම කාටවත් අතපාල ජීවත් වන්නට කැමැති අය නොවෙයි. අපට සිදුවුණු අපරාධය නිසා මම අද විශාල ගැටලුවකට මුහුණ දීලා තිබෙන්නේ අනාගතයේ ආර්ථික සුරක්ෂිතතාවයකට මුහුණ දීමට ගත් පියවර තමයි. අපිව විනාශ මුඛයට ඇදලා දැම්මේ. ජීවන අරගලයට මුහුණ දීමට නොහැකිව අන්තිමේ දී කාර් එක විකුණුවා. ඒ මුදලින් තමයි අද මම ජීවත් වෙන්නේ. ඒ මුදලත් ඉවර වෙන්න ළඟයි. කුලී නිවෙසේ ජීවත් වීමේදී මුහුණ දෙන අනිත් ගැටලුව කලින් කලට ගෙවල් මාරු කිරිමට සිදුවීම. අපි දැන් වයස නිසා එය අපහසු කටයුත්තක්.’

මේ විදියට තමයි ඇය එම සාකච්ඡාවේදී කියා සිටියේ. සිනමාවට මහගු සේවයක් සිදු කරන ලද මෙවන් රංගන ශිල්පීන් මුහුණ දෙන මෙම ගැටලුකාරී තත්ත්වයන් සැබවින්ම කණගාටුදායකයි. ඉතින් ඇයගේ ගැටළු ඉක්මනින්ම විසඳී නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.