Celebrity Gossip

වැඩිහිටියන්ට පමණයි දර්ශන ගලවලා වෙනම ගත්තොත් එය සාර්ථක නිර්මාණයක් ලෙස මා දකින්නෑ – සුලෝචනා වීරසිංහ

සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ රිදී තිරය අතික්‍රමණය කරමින් බොහෝ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක්. තන්හා රතී රඟා , නිකිණි වැස්ස වැනි අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයන් වලට සිය රංගන දායකත්වය ලබා දුන් ඇය වේදිකාව පන්නරය කොටගෙන තමයි සිනමාවට පිවිසෙන්නේ. වේදිකාව තුළත් අති දක්ෂ රංගන ශිල්පිනියක ලෙස රඟපෑම් කටයුතු සිදු කරන ඇය මේ දිනවල දී අපට පුංචි තිරයේදී ත් දැක ගන්නට පුලුවන් වෙනවා. ඒ දිවි තුරා ටෙලිනාට්‍යයේ නිලූගේ චරිතයට සහ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන ගගන පියවර ටෙලි නාට්‍ය ඔස්සේ අපට ඇයව මේ දිනවල දී දැක බලා ගන්නට පුලුවන්.

පසුගිය දිනක දී ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර ඇය පවසන ආකාරයට ඇය වේදිකා නාට්‍ය තුළින් පන්නරය ලබා ගත් බැවින් වේදිකා නාට්‍යවලට ඇය බොහෝ සෙයින් ආදරය කරනවා. පසුගිය දිනකදි ත් රාජිත දිසානායකගේ 2019 ජූලි මාසේ දවසක් වේදිකා නාට්‍ය සඳහා ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇයට තවත් වේදිකා නාට්‍ය කිහිපයක් සඳහා ආරාධනා ලැබී තිබෙන අතර ඒවා ලබන වසරේදී වේදිකා ගත කිරීමටලු සූදානමින් සිටින්නේ.

සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ මේ වන විට ආදරණීය බිරිඳක් වගේම ආදරණීය දුවෙකුගෙ මවක් වෙනවා. වයස අවුරුදු හයක් වන මෞරී ආර්‍යා නමින් හඳුන්වන ඇයගේ පුංචි දියණිය තුන්වෙනි වියෙ සිටම ඇය රිහර්සල් යනවිට එක්කන් යනවා ලු. එනිසාම මේ පුංචි දියණියට දැන් location හොඳට හුරුයිලු. සුලෝචනාගෙ වැඩකටයුතු සියල්ල සඳහා ඇයට උදව් උපකාරී වන්නේ ඇගේ ආදරණීය මව විසින්ලු. කැමරා ශිල්පියෙකු ලෙස වැඩ කටයුතු සිදු කරන ඇයගේ සැමියා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ කැමරා ශිල්පියා විදිහට මේ දිනවල දී කටයුතු කරනවලු.

සුලෝචනා වීරසිංහ ව අපට බොහෝ අවස්ථාවන්වල දී වැඩිහිටියන්ට පමණයි ගනයේ වූ සිනමා නිර්මාණ තුළින් දැක බලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඇය දක් වන්නේ මේ වගේ අදහසක්.

“නිකිණි වැස්ස කියන්නෙත් වැඩිහිටියන්ට පමනයි ගනයේ ගොඩට වැටුණු නිර්මාණයක්. නමුත් නිර්මාණයක දර්ශන, සිද්ධි, අවස්ථා සඳහා එවැනි දර්ශන ගලවලා වෙනම ගන්න පුළුවන් නම් එය සාර්ථක නිර්මාණයක් හැටියට මම දකින්නේ නැහැ. වැඩිහිටියන්ට පමනයි ගනයේ දර්ශන වුණත් කොයිතරම් දුරට ඒ නිර්මාණයට වැදගත් ද කියලයි බලන්න ඕන. ඉතා පරිස්සමින් කරන්න ඕන දෙයක්. එහෙම නැතුව වෙළෙඳ පරමාර්ථයෙන් කළොත් එය නිර්මාණාත්මක දෙයක් වෙන්නේ නැහැ. කලාත්මක නිර්මාණයකට ලේබල් අදාළ නැහැ‍.”

මේ විදියට තමයි ඒ පිළිබඳව ඇය සිය අදහස් දක්වලා තිබුණේ. කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා කාරිණියගේ සියලුම වැඩකටයුතු ඇය සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා.