Celebrity Gossip

මාව කවුරුත් විශ්වාස නොකරන කාලයක සමිතා මුදුන්කොටුව මාව විශ්වාස කළා

සංඛ දිනෙත් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගායනා කරන ලද ගීත තුළ ඇති අර්ථාන්විත බවත් මිහිරි රසයක් නිසාම බොහෝ රසික රසිකාවියන් ඔහුගේ ගීත ඉතාමත්ම ඕනෑකමින් වැළඳ ගන්නා බව කිව යුතුමයි. එක එක රසට ගීත ගායනා කරන ඔහු ගායන දිවියට පිවිසෙන්නේ ඔහුගේ ම උත්සාහයෙනි. චංචල හැඟුමක , රිදෙන නොරිද්දෙන , රෝස කල්පනා , රෑ සිහිනෙ මා ආදී ගීතයන් රැසක් කලා ලොවට දායාද කර ඇති ඔහු සංජනා මල්හෝත්‍රාගෙ ඉන්දීය සිනමා පටයක සංගීත අධ්‍යක්ෂණයටත් යොමු වී තිබීම ඔහුගේ දක්ෂතාවය කොතෙක් දැයි කියා විදහාපායි. කලා ක්ෂේත්‍රය තුළ ගීත නිර්මාණයන් බොහොමයක් දායාද කර ඇති සංඛ ඔහුගේ ගීත නිර්මාණයන් වල රූප රචනා වලට යොදා ගන්නා වස්තු බීජය පිළිබඳව අදහස් දක්වන්නෙ මේ වගේ.

‘අද කාලේ ගොඩක් සංගීත රැලි වල මූලිකම දේ වෙලා තියෙන්නේ සෙක්ස් කියන් දේ. මෙතන තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටමේ ප්‍රශ්නයක්. මම නම් කියන්නේ සෙක්ස් කියන එක සාමාන්‍ය දෙයක් වගේම අත්‍යවශ්‍ය දෙයක් හැටියටයි. ඇත්තටම මේ හැදෙන විඩියෝවල මොනාද සෙක්ස් ගැන තියෙන්නේ.කකුලක් පෙන්නන එකයි ලිප් කිස් කරන එවයිනේ. වෙන ඕනෑම රටකට ගිහින් බලන්න ඕන පාරේ ඇදගෙන යන්නෙත් බාගෙට වහගෙන. ඒ රටවල්වල තියෙන නිර්මාණවල තමයි සෙක්ස් තියෙන්නේ. අපේ රටේ මිනිස්සුත් සෙක්ස් කියන දේ ඕපන් දකින්න පුරුදු වුණා නම් ඔය ගැටළු නැහැ. මම නම් දකින්නේ සෙක්ස් කියන දේ පොදු ප්‍රශ්නයක් හැටියටයි. අනික අපිට තියෙන්නේ බාගෙට ඉතුරු වුණු සංස්කෘතියක් විතරයි . මම නම් ආයේ මේ රටේ ඉපදෙන්නවත් කැමති නැහැ. මම ඇත්තටම ඒ වගේ පෙරළිකාර වීඩියෝස් කරන්න තවම හිතලා නැහැ. නමුත් කරන්න බැරිකමක් නැහැ. සංඛ අමු අමුවේ සෙක්ස් කියන දේ වීඩියෝ වල භාවිතා කරන්නත් ඉඩ තියනවා’

ඔහු මේ වන විට විවාහ වී පුංචි පුතෙකුගේ ආදරණීය පියෙක් ද වනවා. විවාහයෙන් පසු බොහෝ ගායන තරු නිහඩ වුවත් සංඛ විවාහයෙන් පසු වූ ගායන දක්ෂතාව වෙනදාටත් වඩා ඔප් නැංවූවා. ඒ පිළිබඳව ඔහු දරන්නේ මේ වගේ අදහසක්.

‘විවාහ වෙලා වසර ගණනක් ගත වුනත් එදාට වැඩිය අද මට ප්‍රතිචාර ලැබෙනවා. ඒකට හේතුව විවාහය නෙමෙයි. පැවැත්ම වෙන්න ඇති. කොහොම නමුත් මම විවාහ වෙලා ඉන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. කොහේ ගියත් ජනතාව මට ආදරෙයි. මම විවාහ උත්සව වලට යනවා . සමහර පෙම්වතුන් මුණගැහිලා තියෙන්නේ මගේ ගීතයක් නිසා. සමහර මනමාලියන් කැමතිම ගායකයා මම. ඉතින් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මම හිතනවා දුගී දුප්පත් පැලක ඉන්න තරුණයාගේ ඉදලා මහා ධනවතුන්ගේ දරුවන් පවා මට ආදරෙයි. ඒක වාසනාවක්. මධ්‍යම පංතියක දරුවෙක් විදිහට හැදිලා වැඩුණු මම සමහර දේවල් දැකලා විතරයි තිබ්බේ. දැන් මම ඒවා අත්විදලත් තියෙනවා. ඒකට හේතුව රසිකයින්ගෙන් මට ලැබෙන ආදරය තමයි.’

ඉතින් නොයෙකුත් දුක් කම්කටොලු මැද සංගීත ක්ෂේත්‍රය මේ වන විට නමක් දිනාගෙන සිටින මේ ආදරණීය ගායකයා නෙත් fm ගුවන්විදුලි මාධ්‍ය සාකච්ඡාවේදී සමිතා මුදුන්කොටුව මහත්මියට කෘතඥ වෙමින් හරි අපූරු කතාවක් කිව්වා. ඒ තමයි,

‘සමිතා මුදුන්කොටුව මහත්මිය මගේ ජීවිතයේ මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මම එක තැනක් කියන්නම්. 2011 12 වගේ කාලයේදී කාර් එකක් තිබ්බා ඒ කාර් එකේ ඒ මොහොත වෙනකොට ලීස් එක ඇරියස් වෙලා තිබ්බේ. 24781 ක් තමයි මට ගෙවන්න තිබ්බෙ. ඒ කාර් එකේ ලීස් එක මාස 5 ක් විතර ඇරියස් වෙලා තිබ්බේ. ඒ කාලේ මම කලර් කියන චිත්‍රපටයේ music කරන කාලේ. ඇත්තටම මම ටිකක් කලකිරීමෙන් හිටියෙ. Super star season 2 එකෙන් එළියට ඇවිල්ල මට තේරුණා මිනිස්සු මට කැමතියි හැබැයි මට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න අවශ්‍ය කරන financial බේස් එක නැහැ.

එක තැනකදි මම පුළුවන් තරම් හිත හදාගෙන හදාගෙන ඇවිල්ලා එක තැනකදි මට තේරෙන්න ගන්නවා මට workout කරන්න අමාරුයි. ඒ වගේ තැනකදි මේ කලර් චිත්‍රපටයේ music කරන්න මට රුපියල් 24000ක් දෙනවා ෆිල්ම් එකේ producer මහත්මයා. ඒ දුන්න ගමන් මගේ ඔලුවට ආපු දේ තමයි මේ සිංදුව නෙවෙයි කාර් එකේ ලීස් එක කොහොමහරි ගෙවන්න ඕනෙ කියන එක. ඊට පස්සේ එක පාරටම මගේ හිත යට ඉන්න ප්‍රතිපත්තිගරුක මනුස්සයා එකපාරට එලියට ඇවිත් අහන්න ගන්නවා ඕක කැත වැඩක් කරන්න යන්නේ. ජීවිතයේ ඔයා කවදාවත් එහෙම දෙයක් කරලා නැහැ. ඊට පස්සේ මම සමිතා මුදුන්කොටුවට කෝල් එකක් ගන්නවා. මොකද ඇය මගේ සංගීතය ගැන ලොකු විශ්වාසයක් තිබුණ කෙනෙක්.

මම ඇයට කෝල් එකක් දීලා කියනවා සමිතා අක්කේ මට දැන් හරි මහන්සියි. මම ඒ වෙනකොට ජොබ් දෙකකට විතර ඇප්ලයි කරලා තිබුණා. එකකින් මාව තෝර ගෙනත් තිබ්බා. ඒ වෙලාවේ මම එයාට කිව්වම සමිතා මුදුන්කොටුව කිව්වේ ඔයා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ music කරන්න. කාර් එක ගියදෙන් ඔයා සිංදුව කරන්න. කියලා තමයි මට කිව්වේ. කිව්ව වගේම කාරෙක ගියා. මම සිංදුව කළා. හැබැයි 2013 කලර් චිත්‍රපටයට national films award එකෙක් best music director හම්බවෙනවා. මාත් එක්ක නොමිනේට් වෙන්නේ කසුන් කල්හාර සහ අනෙක් පැත්තෙන් නදීක ගුරුගේ මහත්මා. ඒ ඩිසිෂන් එක ගන්න මම අදටත් ඇයට බොහොම ගෞරව කරනවා සහ කෘතඥ පූර්ව වෙනවා. මාව සංගීතයෙන් විශ්වාස නොකරපු බොහෝ දෙනා හිටපු කාලයක ඇය මාව විශ්වාස කරනවා.

මොකද පෙරළා ඒ ආදරේ මට ලැබුණේ මම මෙහෙම ලොකු වෙලා ඉන්න කාලෙක නෙවෙයි. අද මට හැමෝම ආදරෙයි. ඒ කියන්නේ කොන්දේසි විරහිතව ආදරය කරනවා කියන එක. අද හැමෝම මට ආදරෙයි. හැබැයි ඊට වඩා මට වටිනවා මම චරිතයක් වෙන්න කලින් මට දීපු කොන්දේසි විරහිත ආදරයට. මම චරිතයක් වෙන්න කලින් ලැබිච්ච කොන්දේසි විරහිත ආදරයට මං ආදරෙයි. “

මේ විදියට තමයි ඔහු ඉතාම ගෞරවණීය ලෙස සමිතා මුදුන්කොටුව මහත්මිය ට ස්තූතිවන්ත වුනේ. සංඛ දිනෙත් කියන්නේ මේ වන විට ආදරණීය පියෙක්. ඉතින් ඔහුගේ ආදරණීය පුතණුවන් පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පවසා සිටියේ මේ වගේ දෙයක්.

‘පුතාගේ නම යුගාන්. වයස 4යි. එයා මගේ වයිෆ්ගේ පෙනුමට බරයි. පුතාගේ පෙනුම මට වඩා හොඳයි. ඉදිරියේදී මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ. අනාගතයේදී එයා මොන ක්ෂේත්‍රය තෝරා ගත්තත් මට ඕන එයා මම වගේ වගකීමකින් හොඳ දරුවෙක් වෙන එකයි. එයා මම වගේ සංගීතය නොකරට කමක් නැහැ. කන්තෝරුවක වැඩ කලත් කමක් නැහැ. නමුත් නිහතමානිකම, සෘජුව තීරණ ගන්න ළමයෙක් වුනොත් ඇති. මම හම්බ කලේ මුදල්වලට වඩා මිනිස්සු. මගේ පුතත් එහෙම වෙන්න ඕන කියලයි මම හිතන්නේ.

සමාජ වගකීම වශයෙන් අද දිනයේදී බොහෝ දෙනා කතා කරනවා. අද වන විට අපේ දරුවන් ගමන් කරන පාර මොකක්ද? ඒ පාරේ ඔවුන්ට හදන්න පුළුවන් ඉඩ මොකක්ද කියලා දෙමව්පියන් හැටියට තීරණය කරන්න ඕන. අද වන විට සමාජ වගකීම තුල අනිවාර්යෙන් මානුෂිය ගුණාංගය ළමුන්ට ලබාදීමට දෙමව්පියන් කටයුතු කළයි. මීළඟ පරම්පරාව දැනුම අතින් අපිට වඩා ඉදිරියෙන් සිටිනවා. නමුත් ඔවුන්ට මානුෂිය ගුණාංග කියන දේ ඇති කිරීමට අප කටයුතු කළ යුතුයි. මගේ පුතා ලංකාවේ තියෙන ලොකුම උපාධිය අරගෙන ලෝකයේ එහා කොනට ගිහින් ආපහු එද්දී එයාගේ ගෙදර අයව අහිමිවෙලා තිබෙනවානම්, එතැනදී අපි කියන්නේ මොකක්ද? ඊලඟ පරම්පරාවට අප ලබාදිය යුත්තේ මේකයි. ‘

ඉතින් මේ වගේ ඉතා වටිනා අදහස් දරන අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙක් වන සංඛ දිනෙත් මේ දවස් වල දී අපිට සිරස නාලිකාව විකාශය කරන the voice teens ගායන රියැලිටි වැඩසටහනෙහි විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් විදිහට දැනගන්නට පුළුවන් වෙනවා. ඉතින් සංගීත ක්ෂේත්‍රයට තවත් බොහෝ ගීත නිර්මාණ දායාද කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුභ පැතුම් එක් කරනවා.