Celebrity Gossip

සිනමා නළුවෙක් ලෙස මාව බෞතිස්ම වෙන්නෙ චමින්ද කියන චරිතයෙන් – රිචඩ් මානමුදලි

රිචඩ් මානමුදලි කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහු මේ වන විට රංගනයට පැමිණ වසර හතළිහක් සපිරෙනවා. තමන්ගේම උත්සාහයෙන් රංගන ක්ෂේත්‍රය තුළ තැනක් හදා ගත් රිචඩ් මානමුදලි මහත්මාට ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන්ගෙන් ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. වේදිකාව ඔස්සේ දස්කම් පා පුංචි තිරයේත් රිදී තිරයේත් නොමැකෙන සලකුණු සටහන් කල මොහු විටෙක සංකීර්ණ චරිත ඔස්සේත් විටෙක හාස්‍යජනක චරිත ඔස්සේත් රසික රසිකාවියන් කුල්මත් කරන බව කිව යුතුමයි. තමාට ලැබෙන ඕනෑම චරිතයක් 100% ක උපරිම සාධාරණත්වය ඉටු කිරීමට ඔහුට ඇත්තේ උපන් හැකියාවක්. ඒ නිසාමයි රංගන ක්ෂේත්‍රය තුළ ඔහුව නැතුවම බැරි චරිතයක් වී තිබෙන්නේ. ඉතින් පසුගිය දිනකදී මේ අපූරු රංගධරයා එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතර එහිදී ඔහු පිලිබඳව නවතම තොරතුරුත් මතකාවර්ජනත් ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබඳවත් රසිකයා සමඟ පවසා සිටියේ මේ වගේ දෙයක්.

“මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා පසුගිය දිනවල නිවසේම රැඳී සිටියා. නමුත් කලාකරුවෙක් ලෙස දිගින් දිගටම එවැනි ප්‍රතිපත්තියක සිටීමට අපහසු නිසා නැවතත් කලා කටයුතු ආරම්භ කළා. ඒ නිසා තරමක් කාර්යබහුලව මේ දිනවල ගත කරනවා. සුදත් රෝහණගේ “මාණික්කාවත” ටෙලි නාට්‍යය හා “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යවල රූගත කිරීම් මේ දිනවල සිදුකරනවා. ඒ වගේම “අදිසි නදිය” ටෙලි නාට්‍යයේ වෙනස්ම චරිතයක් නිරූපණය කිරීමටත් මට අවකාශ ලැබුණා. ඇත්තටම “ගින්දරී” චිත්‍රපටයේ අප මගේ රංගනයේ වෙනස්ම පැතිකඩක් රසික රසිකාවියන් දුටුවා.

මං වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඒ වගේම එකී ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරූ කෙනෙක්. H.A. පෙරේරා, ඩග්ලස් සිරිවර්ධන, ජයලාල් රෝහණ, රොහාන් සමරදිවාකර, බෙල්ජියම් ජාතික රූඩි කොරන්ස්, වසන්ත විට්ටච්චි, සුනිල් කොස්තා වැනි ප්‍රවීණයන්ගේ ඇසුර හා අධ්‍යාපනය ලබමින් වගේම වැඩමුළුවලට සහභාගිවෙමින් සිටි කාලයකයි මට මෙම චරිතයට ආරාධනා කළේ. ඒ අනුව මම උදයකාන්ත මහතාගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණාම ඔහු මට පැවසුවේ Not Bad කියලයි. ඔහු Good හෝ Very Good නොකිව්වත් මාව ඒ චරිතයට සම්බන්ධ කරගත්තා.

වේදිකා නාට්‍ය තුළින් මා ලැබ තිබූ පුහුණුව නිසා එකී නම්‍යශීලීතාව ගොඩනඟා ගන්න මට පහසු වුණා. ඒ වගේම මම වඩාත් ආදරය කරන, ප්‍රිය කරන මට ගුරුහරුකම් ලබාදෙන රංගන ශිල්පියකු වන මහේන්ද්‍ර පෙරේරාගෙන් මේ පිළිබඳව විමසූ විට එතුමා කරගෙන යන්න වැඩේ සාර්ථක වෙයි කියන පිළිතුර මට ලබා දුන්නා. එයත් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම රොඩ්නි වර්ණකුල සහෝදරයාගේ අනුපමේය සහායත් එකී චරිතය සාර්ථක කර ගැනීමට ලොකු ශක්තියක් වුණා. සිනමා නළුවෙක් ලෙස මාව බෞතිස්ම වන්නේ චමින්ද නමැති චරිතයෙනුයි.

ඇත්තටම අද ඉන්න රංගන ශිල්පීන් බොහොමයක් වේදිකාව තෝර ගන්නේ රිදී තිරය හා පුංචි තිරය තුළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න. මගේ රංගන ජීවිතයේ වසර හතළිහක් නිම කර හමාරයි. නමුත් අප වේදිකාව ජීවිතේ කරගත්තේ රිදී තිරය හා පුංචි තිරය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන නෙවෙයි. එය අපට රංගනය හදාරන එකම තෝතැන්න බවට පත් වුණා. ඒ නිසා ඒ ඔස්සේ අප හැදෑරීම් කටයුතු කළා. එහීදී ලංකාවේ සිටින ප්‍රවීණ ගණයේ අධ්‍යක්ෂවරුන් යටතේ රංගනය දක්වන්න මට අවකාශ ලැබුණා. ඒ භූමිකාවන් මට හැකි උපරිමයෙන් සිදුකළා. ඒ වගේම එහි සම්මානනීය වීමටත් අවකාශය ලැබුණා. වසංගත සමයේ නිසා වේදිකාවෙන් ගිලිහුණු ප්‍රේක්ෂකාගාරය නැවත එය වටා එක් රොක් කර ගැනීම බරපතළ ගැටලුවක්. නමුත් මේ වෙන කොටත් එය යම් තරමින් හෝ ජයග්‍රහණය කර තිබෙනවා. වේදිකා නාට්‍ය නැවත කොළඹ හා ඉන් අවට ආරම්භ කර තිබෙනවා. ප්‍රේක්ෂකයන්ට ලොකු පිපාසයක් වේදිකා නාට්‍යය වෙනුවෙන් ගොඩනැඟී තිබෙනවා. ඒ නිසා එකී ප්‍රවණතාව නැවත ගොඩනැඟේවි යැයි විශ්වාසයක් තියෙනවා.

මම වේදිකාවට පිවිසෙන්නේ ප්‍රාදේශීය රංගන ශිල්පියකු ලෙසයි. බොහෝ වේදිකා නාට්‍ය කොළඹට විතැන් වෙන්නේ කොළඹ ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැඟී තිබෙන නිසයි. නමුත් වේදිකාව සීමා වී පවතින්නේ කොළඹට පමණක් නෙමෙයි. ලංකාවේ හැම නගරයකම එකී ප්‍රේක්ෂකාගාර පවතිනවා. පහසුකම් මත වගේම කොළඹට කේන්ද්‍රීය කරගත්විට ලැබෙන වෙනත් වාසි හා ප්‍රයෝජන නිසා වේදිකාව කොළඹ ස්ථාපිත කිරීමට පෙලඹී තිබෙනවා. අප සෑම විටම කොළඹ නාට්‍යයක් පෙන්වමිනුයි ප්‍රාදේශීය නාට්‍ය ප්‍රදර්ශනය කරන්නේ. ඒ නිසා එකී චෝදනා වැරදිමත් නැහැ.

මම කතෝලික නිසා මගේ රංගන ජීවිතයට තෝතැන්නක් බවට පත් වන්නේ පල්ලියයි. මම මූලික අධ්‍යාපනය ලබන්නේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මහ විදුහලෙන්. එවකට එහි විදුහල්පතිතුමා වන ගරු ඇලෝසියස් සිරිවර්ධන හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ස්ටැන්ලි වෙදසිංහ පියතුමා මගේ රංගන ජීවිතේ මුල් ගුරුවරු ලෙස හැඳින්වුවහොත් නිවැරදියි. මං මුලින්ම රංගනයෙන් දායක වන්නේ පාස්කු නාට්‍යවලට හා කැරොල් නාට්‍යවලටයි. සිරිවර්ධන විදුහල්පතිතුමා මාව කුඩා නාට්‍යයකට යොමු කළ අතර එය පළාත් මට්ටමට ගොස් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමටත් මට හැකි වුණා. තියටර් නාට්‍ය කරන මගේ මාමා කෙනකු සිටි නිසා පාරම්පරිකවත් එකී හැකියාව මට උරුම වී තිබුණා. එකී ආභාසය වගේම මට යම් හැකියාවක් තිබූ නිසා මම රංගනය හැදෑරීමට යොමු වුණා. මගේ නාට්‍ය ගුරුවරුන් වෙන එකේ H.A. පෙරේරා, වසන්ත විට්ටච්චි, සුනිල් කොස්තා, ඩග්ලස් සිරිවර්ධන, ජයලාල් රෝහණ, රොහාන් සමරදිවාකර, රූඩි කොරන්ස්, බෙල්ජියම් මහාචාර්ය එහිදී ආදරයෙන් වගේම ගෞරවයෙන් මතක් කළ යුතුයි.

හොඳ පිරිමියෙක් හොඳ ගැහැනියක් තුළින් හොඳ නළුවෙක් වගේම හොඳ නිළියක් බිහි කළ හැකියි යන්න ප්‍රවීණ රංගන ශිල්පී H.A. පෙරේරා මහතා මට ප්‍රකාශ කරනවා. එය මගේ ජීවිතය පරමාදර්ශී තේමා පාඨය බවට පත් වෙනවා. ඒ නිසා මම මුලින්ම උත්සාහ කළේ හොඳ මිනිහෙක් බවට පත්වීමටයි. එකී ගුණධර්ම තුළ හොඳ නළුවෙක් වීම එතරම් අසීරු වුණේ නැහැ. ප්‍රවීණ රංගන ශිල්පීන් බොහොමයක් වගේම නාට්‍ය නිර්මාණකරුවන් බොහොමයකගේ ඇසුරේ හැදී වැඩීමට මට අවකාශ ලැබුණා. ඒ වාසනාව මගේ රංගන ජීවිතය ඒකාලෝක වීමට හේතු වුණා යැයි කීවොත් නිවැරදියි.

මට ගායන හැකියාව උරුම වන්නේ මගේ මවගෙන්. ඇය අපව නිදිකරවන්න ලස්සනට නැළවිලි ගීත ගායනා කරනවා. ඒ ඇසුර වගේම පල්ලියේ කන්තාරු ගීතිකා කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ නිසා ගායන පුහුණුව මට නිතැතින්ම හිමි වුණා. එකී හැකියාව ප්‍රගුණ කිරීමට මම ප්‍රවීණයන් ඇසුරේ අධ්‍යාපනය ලැබුවා. එඩ්වඩ් ජයකොඩි සංගීත ගුරුවරයා එහිදී මතක් කළ යුතුයි. මට ඔහුගේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ දින වකවානුවලදී පවා ඔහු මට කාරුණිකව විෂය දැනුම ලබා දුන්නා. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් මම සමත් වෙලා එහි ප්‍රස්තාර ගොනුකොට ගැනීමට අවකාශයක් නොමැති විටත් එඩ්වඩ් මහතා එකී කාර්යයත් හෘදයාංගමව සිදු කළා. මට අනාගතය පිළිබඳ ලොකු බලාපොරොත්තු නැහැ. මම ජීවිතේ දිනලා ඉවරයි. ඒ නිසා ගෙවන හැම තත්පරයක්ම මම ගත කරන්නේ හරිම සන්තෝසෙන් වගේම තෘප්තිමත්ව.”

මේ විදියට තමයි එම සති අග පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියලා තිබුණේ. රිචඩ් මානමුදලි කියන්නේ රංගනයෙන් ද ගායනයෙන් ද පරිපූර්ණ අපූරු රංගධරයෙක්. ඉතින් ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම ඔහු සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් නව නිර්මාණ රැසකින් රසිකයා පිනවීමට හැකිවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.