Celebrity Gossip

ඇත්තටම මට ඍණාත්මක ප්‍රතිචාර නැති තරම් – රයිනි ගුණතිලක

රයිනි ගුණතිලක කියලා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක්.ඇයගේ අද්විතීය වූ වෙනස්ම ආරයේ කටහඬ නිසාවෙන්ම ඇයට බොහෝ රසික රසිකාවියන් ආදරය කරනවා.ඒ වගේම තමයි ඇය පැවත එන්නේත් සංගීත පරම්පරාවකින්.ඇයගේ පියා රූකාන්ත ගුණතිලක මහතා වන අතර මව චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියයි.ඇයගේ නැගණිය වන වින්ඩි ගුණතිලකත් ගායන ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක් වනවා.ඉතින් පසුගිය දිනකදී ඇයගේ අලුත්ම ගීතය නිකුත් කළ අතර ඒ ගීතය සඳහා ඉතා ඉහල ප්‍රතිචාර ඇයට ලැබී තිබුණා.ඉතින් ඒ පිළිබඳව සහ ඇයගේ නවතම තොරතුරු පිළිබඳව එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පවසා සිටියේ මෙවැන්නක්.

“මේ දවස්වල මම ගායිකාවක් විදිහට වගේම ගුරුවරියක් විදියටත් මගේ වෘත්තීයමය කටයුතු කරගෙන යනවා.මොකද හඬ පාලනය සම්බන්ධව එක්තරා පන්තියක් මම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකරනු ලබනවා.ඒ වගේම තමයි පසුගිය ඔක්තෝම්බර් මාසයේ මගේ එකම අරමුණ වූ ගුවන් නියමු කළමනාකරණ අංශයේ හැදෑරීම් සම්බන්ධ කටයුතු සඳහා ලියාපදිංචි වීමත් සිදුවුණා.

අපේ පවුලේ ඔක්කොම ගීත ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියත් තාම හතර දෙනාටම එකට ගීතයක් ගායනා කරන්න බැරි වුණා.පසුගිය දවස් වල මායි නංගියි ඒ ගැන කතා වුණා.ඒත් ඉතින් කතා වෙලා වෙලා තිබුනත් අපි එක තවම ක්‍රියාත්මක කළේ නැහැ.ඉදිරියේදී සමහරවිට රසිකයාට එවන් දෙයක් බලාගන්න පුළුවන් වේවි.

මම වසර හතකට පසුව මගේ අලුත්ම ගීතය වු කලුවරට හිත බය හින්දා ගීතය රිලීස් කළා.මම අන්තිමට ගීතයක් රිලීස් කලේ 2015 වසරේදී.ඒ නොබලා මා දිහා ගීතය.ඉතින් අවුරුදු හතක් වගේ දිගු කාලයකට පසුව ගීතයක් නිකුත් කලත් ඒකට මට රසිකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ඇත්තම කිව්වොත් ඍණාත්මක ප්‍රතිචාර නැති තරම්.මම ඒ ගීතය සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම ගායනා කළා.මගේ අම්මට තාත්තට වගේම පවුලේ සියලු දෙනාටම ඒ පිළිබඳව ලොකු සතුටක් තියෙනවා.තාත්තා නම් ගොඩක්ම කැමැතියි දමිළ භාෂාවෙන් ගායනා කරපු ගීතයට.

විවාහ ජීවිතය කියන කියන්නේ හරිම අභියෝගාත්මක දෙයක්.ඉතින් අනිත් අයගේ ජීවිත වගේම මගේ ජීවිතෙත් ගලාගෙන යනවා.විවාහ ජීවිතය කියලා කියන්නේ සුරංගනා කතාවක් ම නොවේ කියන දේ කොහොමටත් විවාහයට පෙර ඉඳලම මම දැනගෙන හිටියා.ඒ ජීවිතයට ගැලපෙන විදියට ජීවත් වීම අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.එතකොට අපිට මුහුණ දීමට සිදුවන ගැටලුත් අඩුයි.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් සංගීත ක්ෂේත්‍රය ඔස්සේ මහගු මෙහෙවරක් කරන මේ ආදරණීය කලාකාරිණියගේ සියලු පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.