Celebrity Gossip

මං තරම් තාත්තිට ආදරය කරන කෙනෙක් මේ මුළු විශ්වයේම නෑ – ස්වේතා මේලි පෙරේරා

නලින් පෙරේරා කිව්වහම ලංකාවේ කවුද නොදන්නෙ. ශ්‍රී ලංකාවේ අතිශය ජනාදරයට පාත්‍ර වුණු සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයාවන නලීන් පෙරේරා කා සමඟත් ඉතාමත් සුහදශීලී ව වැඩ කටයුතු කරගෙන යන අති දක්ෂ ගායන ශිල්පියෙක් මෙන්ම වාදන ශිල්පියෙක් ද වනවා. පසුගිය දවස් වල දී ඔවුන් පිළිබඳ වැඩි කතාබහකට ලක් වූයේ ඔහුගේ ආදරණීය දියණිය වන ස්වේතා මේලි පෙරේරාගේ අති උත්කර්ෂවත් විවාහ මංගල උත්සවය නිසයි. සුරංගනාවියක් මෙන් රූප සම්පත්තියකට උරුමකම් කියන ඇය විවාහ වන්නේ රනිත් නමින් හඳුන්වන කඩවසම් තරුණයෙක් සමගයි.

ඇයව අපට බොහෝ අවස්ථාවන්වල දී දැකගන්නට පුළුවන් වන්නේ tik tok වීඩියෝ හරහායි. සිය පියා වන නලින් පෙරේරා මහතාත් එම tik tok වීඩියෝ සඳහා ඇය එකතු කර ගැනීම විශේෂත්වයක්. ඉතින් පසුගිය දිනකදී යුග දිවියට එලෙබි ඇය මේ වන විට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරයි. තම එකම දියණිය නිවස අතහැර දුරු රටක පදිංචියට යාම පියෙකුට දරා ගන්නට බැරි තරම් දුකක් වේදනාවක් ගෙන දෙන්නක්. ඉතින් මේ ආදරණීය පියා තම දියණිය යුග දිවියට පත්වීමත් සමග නිවස හැර දා යාම පිළිබඳව දැනුනු හැඟීම වචන කළේ මේ විදියට.

“ඒ හැගීම වචනවලට පෙරළන්න නම් අමාරුයි. ස්වේතා දුව කියන්නේ මගේ ගෙදර සීනුව. දුව විවාහ වෙලා යද්දී මට දැනුණේ ශරීරයෙන් හදවත එළියට අරන් යනවා වගේ. මම ගොඩක්ම සමීප දුවට කිව්වොත් එකේ වැරැද්දක් නැහැ. එයා තමයි මගේ හුස්ම ටික. ඒ නිසාම දුව වෙනුවෙන් මම සින්දුවක් කළා. හැබැයි මම දන්නවා ඒ සින්දුව එදා මංගල දිනය දා මට සජීවීව ගයන්න බැහැ කියලා. ඒ නිසාම මම ඒක කලින් පටිගත කරලා විවාහ දවසේ මුල්ම සින්දුව විදියට දුවට තිළිණ කළා. විවාහයෙන් පස්සේ ඒ දෙන්නා විදෙස්ගත වුණා. ඒකත් දරා ගන්න අමාරුයි. මොනවා කරන්න ද ජිවිතේ අතහැරීම තමයි තේරුම් ගන්න තියෙන්නේ අපිට. පියෙක් හැටියට සතුටයි, දුකයි දෙකම එකතු වුණු තැනක්. එයා පතපු විදියට හැමදේම සිද්ධ වුණා. දැන් මමත් මගේ බිරියත් හරිම ආසාවෙන් ඉන්නේ ආච්චිලා සීයලා වෙන්න.”

මේ විදිහට සිය පිය සෙනෙහස තම දියණිය වෙනුවෙන් ඔහු පෙන්වූ අතර ස්වේතා ද විවාහයත් සමග පවුලේ සාමාජිකයන් ගෙන් වෙන් වීම පිළිබඳව දැනුනු හැඟීම වචන කළේ මේ විදියට.

“ඒක දරා ගන්න ගොඩක් අමාරු මොහොතක්. මම ආවෙත් මගේ ඇඟෙන් කෑල්ලක් තියලා වගේ. ඒත් ඉතින් මොනවා කරන්නද? ඒ ගැන කියන්න මට වචනත් නැහැ. එකම සැනසීමකට තියෙන්නේ රනිත් මට දක්වන ආදරේ සහ මගේ පවුලේ අයට දක්වන ආදරය. කොහේ හිටියත් කියන්න තියෙන්නේ මම තරම් තාත්තිට ආදරේ කරන කෙනෙක් මේ විශ්වයේම නැහැ. ඒක අම්මිත් දන්නවා මල්ලිත් දන්නවා රනිතුත් දන්නවා. අපිව ළඟින්ම දන්න හැමෝම ඒ ආදරේ ගැන දන්නවා. ඉතින් මම කොහේ හිටියත් තාත්තිට තියෙන ආදරේ නම් අඩු වෙන්නේ නැහැ. තව තවත් ඒ ආදරේ වැඩි වෙනවා මිස.”

ඉතින් කවුරුත් ආදරය කරන ඔවුන් දෙපළට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතරම ඔවුන්ගේ සියලුම සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.