Celebrity Gossip

අපේ ගෙදර එක එක පන්නයේ කුස්සි තුනක් තියෙනවා – මොරීන් චාරුනි

මොරීන් චාරුනි කියලා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.ඇයගේ විශිෂ්ට සහ තාත්වික රංගන කුසලතාවය නිසාම ඇය රංගනයෙන් දායක වූ සෑම නිර්මාණයක්ම පාහේ රසිකයා ඉතා ආදරයෙන් වැලඳගත්තා.විටෙක සැර පරුෂ චරිත ඔස්සේද විටෙක ගැමි චරිත ඔස්සේ ද විටක පොහොසත් චරිත ඔස්සේ ද කරළියට පැමිණෙන මොරීන් ඉතාම හොඳ බිරිඳක් වගේම ආදරණීය මවක් ද වනවා.ඒ වගේම තමයි රංගනයට අමතරව ඇයට පිහිටලා තියෙන සුවිශේෂී හැකියාවක් තියෙනවා.ඒ තමයි ඉතාම රසට කෑම පිසීමේ හැකියාව.ඉතින් ඒ පිළිබඳව ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී මෙලෙස දක්වා සිටියා.

“ඇත්තටම මම කෑම පිසින්න හරිම ආසයි.කවදාවත් මට උයන එක වදයක් විදියට දැනිල නෑ.උයන හැම වෙලාවකම මම හිතන්නේ මේක මම විතරක් නෙවෙයි කන්න ඕනේ කාට හරි දෙනවා කියලා හිතන නිසා කෑම කොයි විදිහට හැදුවත් හරිම රසයි.අපි පුංචි කාලේ මොන දේ හැදුවත් බෙදා හදාගෙන තමයි කෑවේ.අදටත් වත්ත තියෙන එළවළු පලතුරු පලා කොළ වර්ගයක් වුණත් බෙදා හදාගෙන තමයි කන්නේ.ඒ පුරුද්ද මට ආවෙ මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි කිරි අම්මගෙනුයි.

අපේ ගෙදර කුස්සි තුනක් තියෙනවා.නවීන පන්නයට හදපු පැන්ට්‍රිය ගේ ඇතුලෙම තියෙනවා.ඊට යාබදව දර ලිප දුම්මැස්ස වළං එක්ක කුස්සියක් තියෙනවා.වැඩි පිරිසකට කෑම හදන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න ලොකුවට හදපු කුස්සියකුත් තියෙනවා.ඒ කුස්සිය තමයි ගල් ගල්වංගෙඩිය කුරහන් ගල මිරිස් ගල එහෙම තියලා තියෙන්නෙ.ඒ හැම භාණ්ඩයක්ම අදටත් මම පාවිච්චි කරනවා.

ඒ වගේම තමයි අදටත් මම කෑම පිසින්නේ දර ලිපෙන්.මගේ වත්තේ ඕනතරම් පොල්කොළ දර හනසු තියෙනවා.ඉතින් එදා ඉදලම අදටත් උයන්නේ මැටි වළංවල දර ලිපේ.මම අත්දැකීමෙන් මේ කියන්නේ දර ලිපක සාදන කෑම වේලක රස මොනතරම් තාක්ෂණයෙන් දියුණු උපකරණ භාවිතා කරල හැදුවත් හදාගන්න බැහැ.

මම කොච්චර කාර්යබහුල වුණත් මගේ කාලය ගානට කළමනාකරණය කරගන්නවා.රූගත කිරීම් වලට සහභාගී වෙන්න තියෙන දවස් දවස්වලට පාන්දර තුනට හතරට නැගිටිනවා. පළමු හිරු නමස්කාරය කරනවා.ඉන්පසු බුද්ධ වන්දනාව කරලා තමයි උයන පිහන වැඩ කටයුතු සිදුකරන්නෙ.ඒක මම හිතන්නේ ඇත්තටම හොඳ දෙයක්.මම කරන හැම දෙයක්ම හරිම හිත සතුටෙන් තමයි සිදු කරන්නේ.ඒ නිසා ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.