Celebrity Gossip

කිසිම ආණ්ඩුවකින් ප්‍රවීණ කලාකරුවන්ව අගය කරල නැහැ ජීවත්ව සිටියදී තමයි එය කළ යුත්තේ – මරියසෙල් ගුණතිලක

කැන්ඩි ළමිස්සී ගීතය ඔස්සේ කොයි කාගෙත් ආදරේ සහ ආකර්ෂණය දිනාගත් අපේ රටේ ඉන්න ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි මරියසෙල් ගුණතිලක කියලා කියන්නේ. බටහිර ආරයේ සංගීතයට වැඩි නැඹුරුතාවක් දක්වමින් ගීත නිර්මාණයන් සිදු කළ ඇය අපේ රටේ විතරක් නෙවෙයි තවත් රටවල් ගණනාවක වැඩිම ඉල්ලුමක් තියෙන ගායන ශිල්පිනියක් වෙනවා. සුනිල් පෙරේරා ක්ලැරන්ස් විජයවර්ධන වැනි ප්‍රවීණ බයිලා ගායන ශිල්පීන් සමඟ කරට කර ගීත ගායනයට යොමු වූ ඇය පසුගිය දිනෙකදී එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී අපේ රටේ තිබෙන ගැටළු කීපයක් ගැන කතා කළේ මේ විදිහට.

“වර්තමාන රියැලිටි වේදිකාවල බටහිර පන්නයේ ගීත ගායනා කරන ගායන ශිල්පීන්ගේ සමහර වචන උච්චාරණය පිළිබඳව ඇත්තටම මට කණගාටුයි. මම සිතන්නේ රියැලිටි තරගවලදී පමණක් නොවෙයි, තවත් ඕනෑතරම් අවස්ථාවලදී මම දැකලා තිබෙනවා නව පරපුරේ ගායක ගායිකාවන්ගේ වචන උච්චාරණයේ අවුලක්. එයාලා මහ අමුතුම ක්‍රමයකට තමන්ගේ උච්චාරණයන් සිදු කරන්න යනවා වගේ ගතියක් මම දකිනවා. ඒක ස්වාභාවිකත්වය නොවෙයි. සිංහල ගීත පමණක් නොවෙයි බටහිර ගීත ගායනා කරනකොට වුණත් අමුතු දෙයක් කරන්න ඔවුන් උත්සාහ කරනවා. මම දකින්නේ එය ඔවුන්ගේ දුර්වලතාවක් සහ අඩුපාඩුවක් විධියට. මම මේ ගැන මගේ ප්‍රසිද්ධ විවේචනය මීට කලිනුත් ඉදිරිපත් කර තිබෙනවා. මම කියන්නේ අපි මොන ගීතය ගායනා කළත් අපි දැනගන්න අවශ්‍යයි අපි කවුද කියන එක. අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි මොනවද ගායනා කරන්නේ කියන එක. සිංහල ගීතයක් ගායනා කරන විට ඒ ගීතය බටහිර ආරකින් ගායනා කළා කියලා කිසිදු උසස් වීමක් ලැබෙන්නේ නැහැ. ඒ ගීතයට අමුතු ගතියක් ලැබෙන්නෙත් නැහැ.

තිබුණු කිසිම ආණ්ඩුවකින් ප්‍රවීණ කලාකරුවන්ට ලැබිය යුතු දේවල් ලබාදීලා නැහැ. කිසිම ප්‍රතිලාභයක්, කිසිම අගය කිරීමක් ලබාදීලා නැහැ. මට මතකයට නැඟෙන හොඳම උදාහරණය තමයි ක්ලැරන්ස් විජේවර්ධන. ඔහු මියයනකොට කිසිම රජයකින් කිසිම අගය කිරීමක් සිදු කළේ නැහැ. ඔහු ජීවත් වෙලා ඉන්නා කාලයේදීත් ප්‍රතිලාභයක් ලබාදුන්නේ නැහැ. මම කිසිම රජයක් විවේචනය කරන්න කැමැති නැහැ. නමුත් මම දකින විධියට ඕවා තමයි තිබෙන අඩුපාඩු. කලාකරුවෝ ජීවතුන් අතර සිටිනකොට ඔවුන්ට සලකන්න ඕන. එහෙම නැතිව මියගියාට පස්සේ ඔවුන් ගැන කතා කළාට තේරුමක් නැහැ. මේ රටේ තවමත් ජීවතුන් අතර සිටින ප්‍රවීණ කලාකරුවෝ රාශියක් සිටිනවා. මම කියන්නේ ඔවුන්ට රජය සහන සැලසිය යුත්තේ අද. ප්‍රතිලාභ ලබාදිය යුත්තේ අද. අගය කළ යුත්තේ අද. එය හෙටට කල් දාන්න ඕන වැඩක් නොවෙයි. මොකද රටේ ඒ කලාකරුවන්ට ගොඩක් දුරට හෙටක් නැහැ.”

මේ විදියට තමයි ඇය එහිදී අදහස් දක්වලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.