Celebrity Gossip

‘මට දැන් හිටියා ඇති කියලා හිතෙනවා’ මංගල සමරවීරගේ කවුරුත් නොදන්න අවසන් මොහොත

මංගල සමරවීර කියලා කියන්නේ ජාති, ආගම්, සංක්‍රාන්තිකයන් පිළිබඳ භේදයකින් තොරව සියලුම ජාතීන්ගේ සහ පුද්ගලයින්ගේ සමානාත්මතාව වෙනුවෙන් ක්‍රියාකිරීම යන කරුණු මත සමාජයේ මතභේදාත්මකව කතා කරපු චරිතයක් වනවා. ඔහු දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ පිය උරුමයෙන් වන අතර ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වනවා. ඔහු 2020 මහ මැතිවරණය අතරතුර දී සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ නමුත් රට වෙනුවෙන් ප්‍රගතිශීලී දේශපාලන ගමන්මගක් සඳහා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ උත්සාහයන්හි නියැලී සිටි අතර මෑතකදී විවිධ සිවිල් සමාජ කණ්ඩායම්වල සහයෝගය ඇතිව “රැඩිකල් සෙන්ටර්” නම් ව්‍යාපාරය දියත් කරනු ලැබුවා.

ඔහු උපත ලබන්නේ 1956 අප්‍රේල් 21 දින වන අතර 2005 – 2007 අතර කාලයේ මෙන්ම 2015 – 2017 අතර කාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු කළා. ඒ වගේම ඔහු 2017 සිට 2019 අතර කාලයේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මුදල් ඇමති පදවිය ද හෙබ වූවා. මංගල සමරවීර මහතා අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විදුහලේ වන අතර ඉන් පසුව ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයෙන් බී ඒ ගෞරව උපාධියත්, ඇදුම් නිර්මාණ හා තාක්ෂණය පිළිබඳ බී ඒ ගෞරව උපාධියත් ලබා ගන්නට සමත් කම් දැක්වූවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වූ මංගල නිර්මාණ හා රෙදිපිලි ප්‍රදර්ශන රැසක් ශ්‍රී ලංකාවේ මෙන්ම එතෙර ද පවත්වා තිබීම විශේෂත්වයක්.

මංගල සමරවීර කියලා කියන්නේ දේශපාලන වේදිකාව තුළ කාගේත් කතාබහට ලක්වුණ ක්‍රියාකාරී සාමාජිකයෙක්. සාමාන්‍ය ජනතාව ගැන නිරන්තරයෙන්ම වද වූ ඔහු සැබැවින්ම දේශපාලන භූමිකාවේ නොමැකෙන මතක සටහනක් ඉතුරු කළ ආදරණීය නායකයෙක්. එනිසාමයි ඔහුගේ මරණින් පසුව අසාමාන්‍ය ලෙස ගුණ වර්ණනා කිරීමට ජනතාව පෙළඹුණේ.

ඔහු නිරන්තරයෙන්ම පීඩිත පන්තියේ ජනතාව ගැන උනන්දු වූ දේශපාලනඥයෙක් වනවා. එක් වරක් ඔහු විදේශ රටක පදිංචියට යාමට සිතුවත් ලංකාවේ දුප්පත් ජනතාව දැක සිය අදහස වෙනස් කරගනු ලබනවා. ඔහු ඔහුගේ සගයන්ට මෙවැන්නක් පවසනවා.

“මම මාතර ගෙදර ගියාම ලොකු වේදනාවක් ඇතිවුණා. මාව බලන්න හරියට මිනිස්සු ආවා. ඇත්තටම මම දැක්කෙ ඒ මිනිස්සුන්ගෙ දුප්පත්කම බේරෙනවා. ඒ අයගේ මූණු ඇඳගෙන ඉන්න ඇඳුම් සමහර අම්මලාගේ සෙරෙප්පු පවා කියා පෑවේ ඒ දරිද්‍ර කම. මට මේ මිනිස්සු දාල වෙන රටක ජීවත් වෙන්න බැහැ. අපි ගියොත් ඒ මිනිස්සු මොනවද කරන්නේ. අපි දේශපාලනය කියලා මෙච්චර කල් මොනවද කරලා තියෙන්නෙ.”

යනුවෙනි. ඔහු ඉදිරිපත් කරන ලද මිල සූත්‍රයත් සමඟ මෑතකදී කතාබහට ලක්වූ මංගල සමරවීර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ හොදම යහළුවෙක් ද වුණා.

මුළු ලොවම වෙළාගත් රෝගය වැළඳෙන විටත් ඔහු ඒ සඳහා වූ එන්නත් දෙකම අරගෙන තිබුණා. මොකද ඔහුට එතරම් ම විශ්වාසයක් එන්නත් පිළිබඳව තිබුණ නිසයි. අවසන් සෙනසුරාදා දින මංගල කොළඹ පැමිණියේ ඒ වන විට රෝගයෙන් පීඩා විඳින තුසිතට බොල්ගොඩ දී පිළියෙල කරන ලද මාළු ඇඔුල් තියල් බඳුනක් සහ සීනි සම්බල් බඳුනක් ලබාදීමටයි. ගාඩ් රූම් එකට ඒවා ලබා දීලා මංගල සමරවීර තම නිවස බලා පිටත් වෙනවා.

ඊට පස්සේ තමයි ඔහුගේ ඇඟ පතේ අමාරුවත් එක්ක ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්න ඔහු පෙළඹෙන්නේ. ඒ වන විටත් ඔහුට එම රෝගය වැළඳී හමාරයි. රෝගයෙන් පීඩා විඳින ඔහු ගැන නිරන්තරයෙන්ම සොයා බැලූ ඔහුගේ වෛද්‍ය මිතුරෙකු සහ හෙදියක් වූවා. බදාදා වන විට ඔහුගේ ඔක්සිජන් ප්‍රමාණය කෙමෙන් අඩු වන බව දැනුණු නිසා වෛද්‍යවරයාගේ මතය වූයේ ඔහු ඉක්මනින්ම රෝහල් ගත කිරීමටයි.

කොළඹ පෞද්ගලික රෝහලකට ඔහුව රෝහල් ගත කළ අතර එහිදී ඔහු වෛද්‍යවරුන්ගෙන් අසා තිබුනේ “මාව ඇඩ්මිට් කරන්නේ මට අමාරු හින්ද ද?” කියලයි. කෙසේ නමුත් ඒ වන විටත් මංගලගේ වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වෙමින් පැවතුනා. ඒත් සමගම ඔහු දරුණු නියුමෝනියා තත්ත්වයෙන් පෙළුනා. ඔහුගේ ළඟම මිතුරියක වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව නිරන්තරවම සැලකිලිමත් උනා.

හුස්ම ගැනීමට පහසු වීම සඳහා ඔක්සිජන් මාස්ක් බරපතලව යොදා තිබුණු බැවින් ඔහුගේ මුහුණ තුවාල වී තැන තැන රතු පැල්ලම් ඇති වී තිබුණා. එයින් බරපතළ ලෙස වේදනා විඳි නිසාම මංගල සමරවීර වෛද්‍යවරුන්ට පවසා තිබුණේ “doctor මට දැන් ගෙදර යන්න දෙන්න” කියලයි. ඉන්පසුව doctor ඔහුට පවසා තිබෙන්නේ “එහෙම ලොකු අමාරුවක් නැහැ තව දවස් දෙකක් ඔහොම ඉමුකො” කියලයි.

කෙසේ නමුත් තමා විඳින වේදනාව දරාගත නොහැකිව ළඟම මිතුරන්ට ඔහු කෙටි පණිවිඩ යවා තිබුණේ ” මට දැන් හිටියා ඇති ” යනුවෙනි. ඔහුට තිබූ නිව්මෝනියා තත්ත්වය පහව යමින් තිබුනත් දෙවරක්ම ඇතිවූ හෘදයාබාධ තත්ත්වයන් හේතුවෙන් මේ වාතලයට අවසන් හුස්ම හෙළීම ට ඔහුට සිදුවුණා.

ලංකාව දියුණු සංවර්ධිත රටක් කිරීමට නම් ජාතිවාදය , කුල මල වාදය , ආගම්වාදය නැමැති පොදු සතුරන් පරාජය කළ යුතු යැයි තදින් ඇදහූ මංගල , නිදහස් නිවහල් රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා නිරන්තරයෙන්ම ඇප කැප වූ නායකයෙක් බව කිව යුතුමයි. එවන් වටිනා මිනිසුන් ලංකාවට අවැසි මොහොතක ඔවුන් මෙලෙස සමු ගැනීම සැබවින්ම ලංකාවේ අභාග්‍ය සම්පන්න දෙයක්. කෙසේ නමුත් මංගල සමරවීර මහතාගේ සමුගැන්ම පක්ෂ විපක්ෂයකින් තොරව ලංකාවාසි සියල්ලක්ම ශෝකයට පත් කරවන්නක් වුණා. ඉතින් අප අතරින් සදහටම සමුගත් ආදරණීය නායකයාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා