Celebrity Gossip

මට තවම සිනමාවෙන් ආරාධනා ලැබිලා නැහැ – කිත්මි මුතු මැණිකේ

කිත්මි මුතුමැණිකේ කියන නම කලා ලොවට ටිකක් ආගන්තුක නමක්. පුංචි තිරය තුළින් රසික ආලින්දයට එන මේ අපූරු රංගන ශිල්පිනිය පසුගිය දිනවල දී අපිට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ තාරුකී කියන චරිතය ඔස්සේ දැක බලාගන්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි once upon a time in colombo කියන ටෙලි නාට්‍යයේ සාරා චරිතය ඔස්සේත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන් වුණා. මොරටුව ප්‍රදේශයේ උපත ලැබූ ඇය හට සහෝදරයෙක් සිටින අතර ඇය අධ්‍යාපනය ලබා තිබෙන්නේ මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමයෙන්. රංගනය සඳහා පමණක් නොව නර්තනයටත් එක ලෙස දස්කම් පෑ ඇයගේ මූලිකම අරමුණ වී තිබෙන්නේ නර්තන ශිල්පිනියක් වන්නටයි. ඒ සඳහා නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන චන්න විජයවර්ධනයන්ගෙන් සහ චන්දන වික්‍රමසිංහ ගුරුවරුන්ගෙන් ඇය නර්තනය හදාරා තිබෙනවා. ඉන්පසුව මහේන්ද්‍ර පෙරේරා මහතාගේ acting school එකට සම්බන්ධ වන ඇය ඒ ඔස්සේ රංගනය පිළිබඳව හදාරන්නට පටන් ගන්නවා.

ඇයගේ රංගනය සඳහා අවස්ථාවක් ලැබෙන්නේ ඇයගේ ඥාතියෙක් වන චාලක රණසූරිය මහතා විසින් රචනා කරපු තිර රචනයක් වන කොළඹ ඉතාලියේ ටෙලි නාට්‍යයේ තාරුකී ගෙන චරිතයට පණ පොවන්න ටයි. ඒ ඔස්සේ අතිශය ජනාදරයට පාත්‍ර වීමට ඇයට හැකියාව ලැබුනු අතරම බොහෝ අත්දැකීම් සමුදායක් ලබාගැනීමට ත් ඒ හරහා ඇයට පුළුවන්කම ලැබුණා. ඊටත් පසුව තමයි ඇයට once upon a time in colombo ටෙලි නාට්‍යයේ සාරා කියන චරිතයට පණ පෙවීමට අවස්ථාව උදා වුණේ. එම චරිතයේ තියෙන විශේෂත්වය තමයි දමිළ යුවතියකගේ පසුබිමක් රඟ පෑමට සිදුවීම. කෙසේ නමුත් එම චරිතය ඉතාම කැමැත්තෙන් බාරගත් ඇය ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහට.

“මම දමිළ අය අඳින පලඳින විදියට ආස නිසා ඒ චරිතයට ආරාධනා කරාම බොහොම කැමැත්තෙන් භාර ගත්තා. ඒ චරිතය ගැන හොයලා බලද්දී ටිකක් ලොකු බර චරිතයක් කියලා දැනුණා. ඒ නිසා අභියෝගයක් වුණා. මට දෙමළ සංස්කෘතිය ගැන ලොකූ අවබෝධයක් නැති නිසා මුලදි ඒක අමාරුයි වගේ හිතුණත් දමිළ මලයාලම් චිත්‍රපට බලපු හුරුවත්, චරිතයට තිබූ කැමැත්තත් නිසා චරිතය මට පුළුවන් වුණා.ප්‍රවීණ අය එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ප්‍රවීණයන් කියන්නේ ඇත්තෙන්ම රංගන පාසලක් වගේ. මට ගුරුහරුකම් දුන් ප්‍රවීණ ශිල්පීන්ට ස්තුති වන්ත වනවා නවකයෙක් විදියට ඒ ලබාදුන්න සහයෝගයට.”

නර්තන විෂයට සමගාමී උපාධියක් හදාරන ඇය මේ වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුවියක් වනවා. ඒ වගේම තමයි ඊට අමතරව ඇය නීති විෂය හැදෑරීමටත් යොමු වී තිබෙනවා. ඇගේ මව කලා විෂයයන් සඳහා හෝ සහයෝගයක් දැක්වූවත් ඇයගේ පියා නම් කලා විශයන් වලට එතරම් කැමැත්තක් දැක්වූයේ නැති බව තමයි ඇය පවසා සිටින්නේ. ඉතින් පුංචි තිරයේ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී සිටින ඇය තම රංගන කටයුතු පිළිබඳව අදහස් පළ කරලා තිබුනෙ මේ විදියට.

“මට සිනමාවට නම් තවම ආරාධනා ලැබිලා නෑ. හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. මේ වෙද්දී අලුත් ටෙලිනාට්‍ය දෙකක වැඩ බාර අරගෙන තියෙනවා. ඒක ඉදිරියට ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි. හොඳින් විශ්වවිද්‍යාලය. අධ්‍යාපනයයි අනිකුත් අධ්‍යාපන කටයුතුත් නිමා කරලා ඒ සුදුසුකම් සපුරාගන්න ගමන් රංගන කටයුතුත් ඉදිරියට කරන්න තමා බලාපොරොත්තුව.”

මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම ඉදිරියේ අනාගත වැඩකටයුතු ඇය සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.