Celebrity Gossip

කට්ට කාලා කරන දුෂ්කර චරිත මම අසීමාන්තිකව රස විඳිනවා – ජයනි සේනාරත්න

ජයනි සේනාරත්න කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය රංගනයෙන් දායක වන සියලුම චරිතයන් වලට ඉතාමත්ම සාධාරණයක් ඉටු කරන අතරම එම සෑම චරිතයක් ම අභියෝගාත්මක දුෂ්කර චරිත වීම විශේෂත්වයක්.ඇය නිර්මාණයෙන් දායක වන චරිත සෑම රංගන ශිල්පිනියකටම කිරීමට අපහසුයි.ඒ මන්ද යත් භාව ප්‍රකාශනයෙන් ද හැඟීම්වලින් ද හැසිරීමෙන් ද එම චරිත වලට අනුගත විය යුතුයි.

ඒ නිසාම තමයි ඉතාමත්ම තාත්වික ලෙස ඇයට ලැබෙන චරිත සඳහා ඇය රංගන දායකත්වය ලබා දෙන්නේ.ඇය වටා බොහෝ ප්‍රේක්ෂක රසික රසිකාවියන් පිරිසක් එක්රොක් වී සිටින්නේත් ඒ නිසාමයි. 2020 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මානය දිනාගනු ලැබුවේ ද මේ ප්‍රවීණ රංගන ශිල්පිනියයි. ඒ “වීරයා ගෙදර ඇවිත්” නිර්මාණයේ රංගන දායකත්වය හේතුවෙනි.ඉතින් චරිතාංග නිළියක වශයෙන් කා කතරත් ජනාදරයට පත් උනු මේ ආදරණීය රංගන ශිල්පිනිය ඇයට ලැබුණු මෙම වටිනා සම්මානය පිළිබඳව සහ ඇයගේ අලුත්ම තොරතුරු පිළිබඳව රසිකයා සමග සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම වීරයා ගෙදර ඇවිත් නිර්මාණය තුළ රංගන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව මට හරිම සතුටුයි.මොකද ඒ ටෙලි නාට්‍යය මෑතකාලීනව බිහි වුණු ඉතාමත්ම විශිෂ්ට ගනයේ ටෙලි නාට්‍යයක්.මම එහි රඟපෑ නිළියක් ලෙස නොව ප්‍රේක්ෂකාවක් විදිහට බලපු විශිෂ්ටතම අත්දැකීමක්.ඒ වගේම තමයි මේ ටෙලි නාට්‍යයේ රස වින්දනය පැත්තෙන් ඉතාම උසස් ගණයේ ටෙලි නිර්මාණයක්.ඉතිං හරිම සතුටුයි මට ලැබුණු මේ සම්මානය ගැන.

ඇත්තටම මගෙ මේ රංගන ගමන සඳහා එක පැත්තකින් වාසනා ගුණයත් බලපාන්න ඇති. අනිත් අතට ඊට එහා ගිය කැපකිරීම සහ මේ දේ තුළ නියැළීම ඇතුළෙ අපි කොයි තරම් දුරට අවංක ද කියන එකත් බලපාන්න ඇති. බොහෝ දෙනෙක් මම කරන චරිත කරන්න අකමැතියි. හැබැයි මට දැනෙනම චරිත තමයි මේවා. කොහොම වුණත් මම ආසම සහ මම ආදරේම චරිත තමයි මම කරන්නේ. ඒ මට ලැබෙන චරිත අනෙකුත් චරිත වලට වඩා වෙනස්. ප්‍රායෝගිකව ගත්තම දුෂ්කර චරිත. සැප පහසුවට කොළඹ හෝ ඒ අවට ඉඳගෙන උදේ ගෙදර ඉඳලා ගිහින් හවසට ගෙදර එන්න පුළුවන් චරිත නෙවෙයි. කොළඹින් දුර පළාත් වල ගිහින් අව්ව වැස්ස සුළඟ නොතකා උදේ ඉඳන් රෑ වෙනකම් කරන චරිත ලැබෙන්නේ. හැබැයි ඒ චරිතවලට මම ආදරේ කරනවා.ඒවා අසීමිත විදියට මම විඳිනවා.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඒ වගේම තමයි ඇය රංගනය තෝරා නොගත්තානම් නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරාවි යැයි ද පවසා සිටියා.ඉතින් මේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.