Celebrity Gossip

ජැක්සන්ගේ සිදුවීමේ අලියෙකු පිළිබඳ සලකුණක් වත් නැහැ

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ආදරණීය රංගන පෞරුෂයක් තමයි ජැක්සන් ඇන්තනී මහත්මා කියන්නේ. ඔහු රංගනයෙන් දායක වූ සියලුම සිනමා නිර්මාණයන් ටෙලි නිර්මාණයන් වගේම වේදිකා නාට්‍ය නිර්මාණයන් රසික රසිකාවියන්ගේ අතිශය පැසසුමට ලක්වීම සුවිශේෂී කරුණක්. ඒ වගේම තමයි සම්මානනීය රංගධරයෙක් වන ඔහු ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයෙක් ද වෙනවා. සිංහල ඉතිහාස වංශ කතාව තුළ අප නොදත් බොහෝ දෑ පිළිබඳව පුළුල් විග්‍රහයක නිරත වන ඔහු සැබැවින්ම පුස්තකාලයක් බඳු දැනුමක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඒ නිසාම තමයි මෙතරම් රසික ජනතාවක් ඔහුට ගෞරව කරන්නේ. ඔහු විවාහ වී සිටින්නේ කුමාරි මහත්මිය සමග වන අතර ඔහුට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක් සිටිනවා. ඔවුන් සියල්ලෝම ද කලා කටයුතුවල නිරත වන්නෝ වීම විශේෂත්වයක්.

ඉතින් පසුගිය දිනකදී ඔහු පිළිබඳව අපට ආරංචි වූයේ එතරම් සුබ දායක පුවතක් නම් නෙවෙයි. රූගත කිරීමක් නිමවී නැවත එන මොහොතේදී අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදී ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහත්මාගේ රිය අනතුරකට ලක් වූවා. එම අනතුරෙන් ඔහු බරපතළ ලෙස රෝගාතුර වූ අතර තවමත් රෝහල් ගත කොට ප්‍රතිකාර ලබමින් සිටිනවා. එම අනතුර අලියෙකු ගැටීමෙන් සිදු වූවක් බව තොරතුරු අනාවරණය වුවත් මේ වන විට අපට දැනගන්නට ලැබෙන තොරතුරු වලට අනුව එය හරියටම සනාථ කර ගැනීමට නොහැකි වී තිබෙනවා..

එයට හේතුව වන්නේ වනජීවී නිලධාරී කාර්යාල තුනකින්ම ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වූවද එම රියෙහි ගැටුනු අලියා පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වීමයි. එම ගැටුනු අලියා පිළිබඳ කිසිදු සලකුණක් රියෙහිවත් මාර්ගයේ වත් නොමැති අතර අලි රංචු තුළද අනතුරට ලක් වූ අලියෙකු පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම තමයි ජැක්සන් මහත්මයාගේ රියෙහි ගැටුනු අලියා පිළිබඳව ඇත්තේ ඇසින් දුටු සාක්ෂි දෙකක් බැවින් ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු සෙවීමට ඔවුන් නිරත වන බව අනුරාධපුර වන සත්ත්ව අඩවි නිලධාරී රත්නසිරි පෙරේරා මහතා මව්බිම පුවත්පතට පවසා සිටියා. ඉතින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලද සැණින් එසැණින් නොපමාව ඔබට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වන විටත් රෝගාතුරව සිටින ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.